Wednesday, April 23, 2025
Home » අපේක්ෂිත අරමුණ ඉටු වී නෑ යුක්තිය මෙහෙයුම තනිකරම මාධ්‍ය සන්දර්ශනයක්

අපේක්ෂිත අරමුණ ඉටු වී නෑ යුක්තිය මෙහෙයුම තනිකරම මාධ්‍ය සන්දර්ශනයක්

-පොලිස් ලොක්කන් දුන් ‘ලිස්ට්’වලට වැටලීම් කරලා

by sachintha
October 1, 2024 1:03 am 0 comment

අත්අඩංගුවට ගෙන ඇත්තේ කුඩු ජාවාරමෙන් ඉවත්වූ පිරිසක්

නාවික හමුදාවෙන් ඇල්ලූ කුඩුත් ‘යුක්තිය’ ගිණුමට බැර කරගෙන

පොලිසිවල සාමාන්‍ය රාජකාරි සම්පූර්ණයෙන්ම බිඳවැටිලා

අහිංසකයන් අල්ලාගෙන කුඩු අතින් දමා හිරේ යවලා

යුක්තිය මෙහෙයුම මඟින් අපේක්ෂිත අරමුණු ඉටු වී නොමැති බව පොලිස් මූලස්ථානය විසින් කළ සොයා බැලීමකදී අනාවරණය වී තිබේ. යුක්තිය මෙහෙයුම හුදෙක් මාධ්‍ය සංදර්ශනයකට පමණක් සීමා වූවක් බවත් පෙර වර්ෂවලට සාපේක්ෂව මත්ද්‍රව්‍ය වැටලීම් සිදුව නොමැති බවත් පොලිස් මූලස්ථානයේ ඉහළ නිලධාරීන් රැසක් සංඛ්‍යා දත්ත සමඟ වැඩබලන පොලිස්පතිවරයාව දැනුම්වත් කිරීමටද පියවර ගෙන ඇත.ප්‍රධාන පෙළේ මත්කුඩු ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම වෙනුවට සිදුව ඇත්තේ පොලිසියේ යම් ඉහළ නිලධාරීන් පිරිසක් විසින් ලබාදුන් ලේඛනයකට අනුව පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමක් බවත් එසේ අත්අඩංගුවට ගත් වැඩි පිරිස මත්කුඩු ජාවාරම්වල නිරතව සිට වසර ගණනාවක සිට මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් ඉවත්ව සිටින පිරිස් බවත් එම නිලධාරීහු පවසති. ඒ හැරුණු කොට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ලෙස හුවා දක්වමින් අත්අඩංගුවට ගැනීම් රැසක්ම සිදුකර ඇත්තේ මත්කුඩු භාවිතයට ඇබ්බැහි වූවන් බවත් පුද්ගල අත්අඩංගුවට ගැනීම් වැඩිවී ඇතත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සැබෑ ලෙසම අත්අඩංගුවට ගැනීම් නිසි පරිදි සිදුව නොමැති බවත් පොලිස් මූලස්ථානය විසින් කළ පසුවිපරම්වලින් පෙනී ගොස් තිබේ.

නාවික හමුදාව විසින් පසුගිය කාලයේ මහ මුහුදේ දී කළ වැටලීම්වලින් මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති අතර එම මත්ද්‍රව්‍ය ප්‍රමාණයද යුක්තියේ මෙහෙයුමෙන් අත්අඩංගුවට ගත් ඒවා බව පෙන්වමින් මාධ්‍ය සංදර්ශනයක් මේ කාලය තුළ ක්‍රියාත්මක කර ඇතැයි පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියෙක් පැවැසීය.

යුක්තිය මෙහෙයුම සිදුවී ඇත්තේ යම් දේශපාලනික අරමුණකින් බව ද පෙනී යන බවත් පොලිස් ස්ථානවල සාමාන්‍ය රාජකාරි මුළුමනින්ම පාහේ මේ නිසා අඩාළ වී තිබී ඇති බවත් එම නිලධාරියා කීය.

මහජනතාව විසින් පොලිසියට පැමිණිල්ලක් කිරීමට ගිය විට පැමිණිල්ල සටහන් කර ගැනීමට පවා නිලධාරීන් සිට නැති බවත් ඉහළින් ලද ලැයිස්තුවකට අනුව පුද්ගල අත්අඩංගුවට ගැනීමට ප්‍රමුඛතාවය දීමක් යුක්තිය මෙහෙයුම මඟින් සිදුව ඇති බව පෙනී යන බවත් එම නිලධාරියා කීය.

වැඩ බලන පොලිස්පතිවරයා යුක්තිය මෙහෙයුමට විශේෂ රාජකාරි පදනමින් යොදා සිටින නිලධාරීන් නැවතත් සාමාන්‍ය සිවිල් රාජකාරි සඳහා යෙදවූවත් මත්ද්‍රව්‍ය සහ පාතාලය මැඬලීමේ මෙහෙයුම් සංවිධානාත්මක ලෙස සිදුවන බව පොලිස් මූලස්ථාන තොරතුරු සඳහන් කළේය. එහි දී මත්කුඩු පානය කරන හෝ මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් ඈත්ව යහපත් ජීවිතයක් ගත කරන අය ඉලක්ක කර ගැනීමකින් තොරව පසුගිය කාලයේ කොටුකර නොගත් සැබෑ මත්කුඩු ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට ප්‍රමුඛතාවය දෙමින් පොලිසිය මෙහෙයැවීමට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ අදහස වී තිබෙන බව පොලිස් මූලස්ථාන නිලධාරීන් පවසති. ඒ වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් ඉදිරියේදී දියත් කෙ‍ෙරන බවත් එයට මාධ්‍ය සංදර්ශනවලින් තොරව මහජනතාවට දැනෙන ආකාරයේ මෙහෙයුමක් වනු ඇති බවත් එම නිලධාරීන් සඳහන් කළේය.

යුක්තිය මෙහෙයුම සඳහා විශේෂ රාජකාරි යැයි සඳහන් කරමින් යෙදවූ නිලධාරීන් වැඩ බලන පොලිස්පතිවරයා විසින් නැවත ඔවුන් සිටි ස්ථානවලට අනුයුක්ත කරමින් නියෝගයක් නිකුත් කළද මත්ද්‍රව්‍ය වැටලීම් සහ අපරාධ මැඬලීම් කටයුතු දෛනිකව සිදුවිය යුතු බවත් එම වැටලීම් සම්බන්ධයෙන් වූ වගකීම අදාළ කොට්ඨාස භාර පොලිස් ප්‍රධානීන්ට පවරා ඇති බවත් සඳහන්ය. යුක්තිය නාමයෙන් පසුගිය කාලය තුළ නිකරුණේ පුද්ගලයන් අත්අඩංගුවට ගෙන මත්ද්‍රව්‍ය අතින් දමා පොලිසිය විසින් හිරේ දැමූ පුද්ගලයන් සම්බන්ධයෙන් පැමිණිලි රාශියක් මේ වන විට ජාතික පොලිස් කොමිෂන් සභාවට සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට ලැබී තිබේ.

 

ගයාන් කුමාර වීරසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT