Home » ළමා ලෝකය අපේ දෑතින් ගොඩනඟමු

ළමා ලෝකය අපේ දෑතින් ගොඩනඟමු

-ලෝක ළමා දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් ජනපති කියයි

by sachintha
October 1, 2024 1:01 am 0 comment

‘ලෝකය ළමයින්ටයි, ඔවුන්ගේ ලෝකය අපේ දෑතින් ගොඩනඟමු’ යනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදට (01) යෙදෙන ලෝක ළමා දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියි.

මේ සහශ්‍රකයේ දරුවන් මුහුණ දෙන අභියෝග ලෙස දිළිඳුකම, මන්දපෝෂණය, සෞඛ්‍ය සහ සනීපාරක්ෂාව, පරිසර විනාශය, අධ්‍යාපනයේ අසමතුලිත බව, සමාජ අවස්ථාවල අසමාන බව, මත්ද්‍රව්‍ය මෙන්ම තාක්ෂණය අනිසි ලෙස භාවිතයේ ගොදුරු බවට පත්වීම යනාදිය අපි හඳුනාගෙන ඇත්තෙමු යනුවෙන්ද එහි සඳහන් කර තිබේ.

එසේම දරුවන්ගේ මනෝ සමාජයීය සංවර්ධනයට බාධා කරන සමාජයීය සාධක මෙන්ම ආතතියෙන් පිරුණු විභාග කේන්ද්‍රීය අධ්‍යාපන රටාව යනාදී අගතීන්ගෙන් වත්මන් ළමා පරපුර මුදාගෙන දරුවන්ට හිමි ළමා ලෝකය නැවත දරුවන්ට දිනා දීම අපගේ පුනරුද යුග කාර්යයේ මාහැඟි අරමුණය යැයිද දක්වා ඇත.

කයින් මනසින් මෙන්ම ආධ්‍යාත්මයෙන්ද නීරෝගි සුපසන් ළමා පරපුරක් බිහි කිරීම මඟින් අනාගත ලොව දිනන නිදහස් පරිකල්පනයකින් යුතු නිවහල් උදාර මිනිසා නිර්මාණය වන බව අපි විශ්වාස කරන්නෙමු. ඒ සඳහා අවශ්‍ය ආර්ථික නිදහස මෙන්ම මානව දයාව, අන්‍යෝන්‍ය විශ්වාසය, ගරුත්වය සහ පිළිගැනීමෙන් යුක්ත සමාජය නිර්මාණය කිරීම සහ ස්වාභාවික සම්පතින් සපිරි පාරිසරික උරුමය රැක දීමටත් අවැසි දේශපාලනික පරිවර්තනය අපි ප්‍රමුඛ කාර්යය සේ සලකා ඉටු කිරීමට කැපවෙමු. එකී වගකීමට අපි සැම වගවෙමු යැයිද එහි වැඩිදුරටත් සඳහන් කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT