Home » මිනුවන්ගොඩ බියුටි සැලුන් හිමිකාරියගේ ඇප අයැදුම ඉවතට

මිනුවන්ගොඩ බියුටි සැලුන් හිමිකාරියගේ ඇප අයැදුම ඉවතට

-අත්අඩංගුවට ගන්න යළි නියෝග

by sachintha
September 30, 2024 12:44 am 0 comment

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසුව කාන්තාවකගේ කෙස් කළඹ ගැලවීයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය මඟ හරිමින් සිටින මිනුවන්ගොඩ රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය සිය නීතිඥයන් මඟින් අධිකරණයට ඉදිරිපත් කර තිබූ අපේක්ෂිත ඇප අයදුම්පත ප්‍රතික්ෂේප කළ මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ටී. තේනබදු මහත්මිය එම රූපලාවණ්‍යාගාර හිමිකාරියව අත්අඩංගුවට ගන්නා ලෙස නැවත වරක් නියෝග කරනු ලැබුවාය. මෙම අපේක්‍ෂිත ඇප ඇයැදුම්පත විභාගයට ගත් අවස්ථාවේ දී මිනුවන්ගොඩ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එන් .පී.එස්. ජයලත් මහතා සහ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි උප පොලිස් පරීක්‍ෂිකා වජිරා චාමලී අධිකරණයට කරුණු දක්වමින් රූපලාවණ්‍යාගාරයේ හිමිකාරියට ඇප ලබාදීමට විරුද්ධ වන බවත් ඇය පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කර ඇති බී වාර්තාව මගින් ප්‍රධාන සැකකාරිය ලෙස නම්කර සිටින බව ද පැවසූහ. එසේම මෙම සැකකාරිය අදාළ සිදුවීම වූ ඉකුත් 30 වැනිදා සිට අධිකරණ නියෝග නොසලකා හරිමින් පොලිසිය හා අධිකරණය මගහරිමින් සිටින තැනැත්තියක් බව ද පොලිසිය අධිකරණයට කරුණු දැක්වීය.

මෙහි දී අගතියට පත් පැමිණිලිකාර කාන්තාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සරල කරුණාරත්න සහ සරණ කරුණාරත්න මහත්වරුන් අධිකරණයට කරුණු දක්වමින් අපේක්ෂිත ඇප ඉල්ලා සිටින මෙම රූපලාවණ්‍යාගාරයේ හිමිකාර තැනැත්තිය සිද්ධියට අදාළව පොලිසිය මගින් අධිකරණයට ඉදිරිපත් කර ඇති බී වාර්තාවේ ප්‍රධාන සැකකාරිය වී සිටින අයකු බවත් ඇයට ඇප ලබා දුනහොත් සිද්ධිය පිළිබඳ දැනට ක්‍රියාත්මක වන විමර්ශනවලට බාධාවක් වන බව පැවසූ අතර මෙය මේ වනවිට ක්‍රියාත්මක විමර්ශනවලින් සහ අත්අඩංගුවට ගැනීමෙන් ගැලවීම මූලික කරගෙන ඉදිරිපත් කර ඇති අපේක්ෂිත ඇප අයදුම්පතක් වන බැවින් මෙම ඇප අයදුම්පත ප්‍රතික්ෂේප කරන ලෙසත් අගතියට පත් පැමිණිලිකාර කාන්තාවට සාධාරණයක් සිදුවිය යුතු බවත් එම නිසා මෙම සැකකාරියව අත්අඩංගුවට ගැනීමට නියෝගයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය.

මෙම අවස්ථාවේ දී ප්‍රධාන සැකකාරිය වන රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින් දිසානායක සහ සංජීව හෙට්ටිආරච්චි යන මහත්වරුන් අධිකරණයට කරුණු දක්වමින් බී වාර්තාවක් ඉදිරිපත් කර තිබෙන අවස්ථාවක ඇප අයදුම්පතක් ඉදිරිපත් කිරීමට නොහැකි බවට ඇප පනතේ සඳහනක් නොමැති බවත් ඕනෑම කොන්දේසියක් මත ඇප ලබා දෙන ලෙසත් ඉල්ලීමක් කළේය.

මෙහිදී දෙපාර්ශ්වයේම කරුණු සැලකිල්ලට ගත් මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ටී. තේනබදු මහත්මිය මෙම අපේක්ෂිත ඇප අයදුම්පත ප්‍රතික්ෂේප කරන බවත් එම සැකකාරියව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නැවත වරක් පොලිසියට නියෝග කරනු ලැබුවාය. මිනුවන්ගොඩ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එන් .පී.එස් . ජයලත් මහතා සහ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි උප පොලිස් පරීක්ෂිකා වජිරා චාමලී යන මහත්ම මහත්මින් සමඟ නීතිඥ සරල කරුණාරත්න සහ සරණ කරුණාරත්න අගතියට පත් පැමිණිලිකාර කාන්තාව වෙනුවෙන් පෙනී සිටියහ.

රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය වන ප්‍රධාන සැකකාරිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ නලින් දිසානායක සහ නීතිඥ සංජීව හෙට්ටිආරච්චි යන මහත්වරුන් පෙනී සිටියහ.

මිනුවන්ගොඩ සමූහ – ටෙඩී කීර්ති

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT