වසර 2023 /2024 ගෙවීමට නියමිත ආදායම් බදු ඇතුළු සියලු බදු මුදල් අද (30) දිනට පෙර ගෙවා දමන්නැයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව බදු ගෙවන්නන්ගෙන් ඉල්ලීමක් කරයි. දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් සේපාලිකා චන්ද්‍රසේකර මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියා සිටියාය. එම නිවේදනයේ මෙසේද සඳහන් වෙයි.
2023/2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු මුදල් 2024 සැප්තැම්බර් මස 30 දින හෝ එදිනට පෙර ගෙවා අවසන් කළ යුතුය. එසේ යම් තැනැත්තෙක් කටයුතු නොකරන්නේ නම්, නොගෙවන හෝ ප්‍රමාද වී ගෙවන ආදායම් බදු වෙනුවෙන් නීති ප්‍රකාරව දණ්ඩනයකට සහ පොලියකට යටත් වේ. මෙම දඩ හෝ පොලි අඩු කිරීමක් හෝ ඉවත් කිරීමක් සිදු කරනු නොලැබේ.තවද, ඕනෑම බදු වර්ගයක් සඳහා යම් තැනැත්තකු විසින් ගෙවිය යුතු බදු මුදල් නොගෙවා සිටීමෙන් ඇති වූ ” හිඟ බදු ” පවතී නම්, ඒ සියල්ල 2024 ඔක්තෝබර් 30 දින හෝ එදිනට පෙර ගෙවා අවසන් කළ යුතු වේ. එදිනට පසුව තවදුරටත් නොගෙවා සිටින හිඟ බදු පවතී නම්, ඒවා අය කර ගැනීමට දේශීය ආදායම් පනතේ සඳහන් පරිදි නීතිමය කටයුතු ඇතුළුව සියලුම ආකාරයේ අය ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට සිදුවනු ඇත.
ඉහත කරුණු පිළිබඳ වැඩිදුර තොරතුරු අවශ්‍ය වේ නම්, 1944 අංකය අමතා හෝ ඔබට ආසන්නම දේශීය ආදායම් බදු ප්‍රාදේශීය කාර්යාලය සමඟ සම්බන්ධ වී එම විස්තර ලබා ගත හැකිය.
ජයසිරි මුණසිංහ