Home » සාපෙළ කඩුල්ල මුවා කළ වරද

සාපෙළ කඩුල්ල මුවා කළ වරද

by sachintha
September 30, 2024 1:00 am 0 comment

එක් යුද්ධයක් නිමාවී ඇත්තේය. මේ රටේ දරුවන් සිටින සෑම නි‍ෙවසක්ම, ඔවුනගේ අධ්‍යාපන සමයේදී සටන් කලාප තුනක සැරිසරන්නේය. ඊයේ උදෑසන ප්‍රතිඵල නිකුත් වූයේ දෙවැනි සටන් කලාපයේ හෙවත් සාමාන්‍ය පෙළ විභාගයේය. මෙම පොදු සහතික පත්‍ර විභාගයේ ඉලක්කය උසස් පෙළ සඳහා සිසුන් තෝරා ගැනීමය. එසේ තෝරා ගනු ලබන්නේ, මෙතෙක් පොදු ආකාරයෙන් සියලු විෂයයන් පිළිබඳව සෑම ශිෂ්‍යයෙක්ම උගත යුත්තේ වුවද ඊළඟ අදියරේදී විෂය ධාරාවන් අනුව විද්‍යා, වාණිජ, කලා, තාක්ෂණික ආදී විෂය ධාරාවන් ඔස්සේ එම දරුවන් මේ රටේ ආනාගතය සඳහා තිළිණ විය යුත්තේ හෙයිනි. සාපෙළ කඩඉමක් වන්නේ මේ සඳහාය. උසස් පෙළ ඉලක්කය නොව, දැන් සාපෙළ පැමිණ ඇත්තේ ඒ සාමාර්ථ නවයේ ඉලක්කය වෙතය.

මේ ආකාරයට තත්ත්වයන් සංකීර්ණ කර ගැනීම සමාජ මනෝභාවයක් බවට පත්වූ විට එය නිමා වන්නේ ව්‍යසනයක් මත්තේය. සරල ආකාරයෙන් දරුවන් සඳහා මෙම කඩුල්ල පැනීමට ඉඩ නොදෙන්නේ ගෙදරින්මය. වයස් සීමාව දහසයක් වන දරුවා වූ කලී, නව යොවුන් වියේ පළමු පඩිය නැඟ ඊළඟ පියවර සඳහා සූදානම් වූ අයෙකි. මවු කිරි සුවඳ වහනය වූ චරිතය, මේ සමයේදී සමාජය සමඟ සිය මුසුවීම ආරම්භ කරන්නේය. ඒ සමඟ යම් නාහෙට නාහන ගතියක් ද පළ විය හැක්කේය. මේ සමය යම්තාක් දුරකට හෙතෙම දඩබ්බර බවට බර වන්නේය. ඒ වනාහි, හිරිමල් වයසේදී හිරිඇර ගැනීමට යෑමක් බඳුය. මේ ගතිය සඳහා සාමාන්‍යයෙන් වහරන්නේ ඕලෙවල් කික් එක කියාය. ඒ ආකාරයට කික් වී ඇති දරුවා, මෙල්ල කර ගැනීම සහ ඔහුගේ ඉදිරි වැඩ තකා බාහිර ක්‍රියාකාරකම් අත්‍යවශ්‍යය.

ඕලෙවල් මංසන්ධියේදී දරුවා කවර මාවතක යනු ඇද්දැයි දැනගත හැක්කේය. පොතපත වටකර වැටක් ගැසූ සැණින් වැසී යන්නේ එම මාවතය. ක්‍රීඩාව, සාහිත්‍යය නාට්‍ය සහ රංගන ආදී ක්‍රියාකාරම් සඳහා හොඳම ආරම්භක වයස වන්නේ නව වැනි ශ්‍රේණියේ සිට මේ කාලයය. එසේ වුවත් ‘ඒ නවයේ’ වුවමනාව මේ සියලු මාවත් එසැණින් වසා දමන්නේය.

කමිදු මෙන්ඩිස්ගේ ක්‍රීඩා කෞශල්‍යය සඳහා පදනම වැටෙන්නේ පාසල් සමයේදීය. යම් හෙයකින් ඔහු වෙත පිත්ත සහ පන්දුව ගැනීම වළක්වාලූයේ නම්, ලෝක ටෙස්ට් ක්‍රීඩාවේ අඩුම තරග ගණනකදී වේගයෙන් ලකුණු 1000ක් පසුකළ ලොව පළමු ක්‍රීඩකයා අපට අහිමි වන්නේය. වසර අනූ නවයක් පැරණි එවන් වාර්තාවක් බිඳ දමන ක්‍රීඩක පෞරුෂයක් ගොඩ නැඟෙන්නේ ‘ඒ නවය’ පස්සේ පැන්නීම නතර කර, ඔහුගේ දක්ෂතාව අනුව පිටිය සැකසුණු හෙයිනි.

සාපෙළ කඩඉම දක්ෂ ලෙස ජයගත් සිසු කැල වෙත අපගේ ප්‍රශංසාව ලබාදෙනු සේම, එම ඉලක්කයෙන් එහා මෙහා වූවා කියා කිසිවෙක් කලබල නොවිය යුතු බව ද මේ තීරුවේ අදහසය. මේ දින කිහිපයේ සමාජ මාධ්‍යයේ තම දරුවාගේ ‘ඒ නවයේ’ ප්‍රතිඵල ලේඛන උඩුගත කරන මවුපියන්, ඉදිරියේ, එම සාධක නොමැති අම්මලා තත්තාලා තැවෙනවා ඇත්තේය. අපේ එකාට වියදම් කළ සල්ලි ගඟේ මුහුදේ දැම්මා වැනි හැඟීමක් ජනිත වෙනවා ද ඇත්තේය. ඒ ආකාරයේ සමාජ අවුලක් ඇති වන්නේ හෙයින් ඊළඟ මවුපිය පරපුර සියල්ල පසෙක ලා, සිය එකලා සහ එකිලා ද ඒ නවය සඳහා දැක්කීමට සූදානම් වෙනවා ඇත.

පියාඹන්න

අවසරයි

පියාපත ද සැහැල්ලුයි

ඉතිං නිල් අහස මගෙයි

යනුවෙන් මේ වයසේ දරුවා සිය නි‍ෙවසට පණිවිඩය දැනුම් දෙන්නේ වචනයෙන් නොවේ. ඔවුහු විවිධාකාර ඉල්ලීම් මගින් මේ පණිවිඩය ගෙදරට ලබා දෙන්නේය. ඒ සෑම විටකම නි‍ෙවසෙන් නැඟෙන පිළිවදන වන්නේ

මගේ පුංචි කුරුල්ලෝ

නිල් අහස

විශාලයි

නුඹ ගැන තවම මට බයයි

කියාය. කපුගේ පියාණන් සහ පුතණුවන් ගයන ගීයක්‌ වූවාට, මේ සමයේ දරුවන් සිටින සෑම නි‍ෙවසකම මෙම ගීතය විවිධ ස්වරයෙන් මතු වන්නේය. එවන් ආකාරයට නැඟෙන ඉල්ලීම සදහා මේ කාලයේ ලැබෙන පිළිතුර ‘ඒ නවය ගෙනෙන්’ යන්න පමණක් හෙයින් මේ වයසේ දරුවා වනාහි පොත සහ අසහනය පොදි බැඳගත් ජීවිතයක් බවට පත්ව තිබේ.

මේ ගැන කෙතරම් අවවාද ආදිය ලබා දුන්නේ වේද, රැල්ලෙන් මිදීම වූ කලී පහසු කටයුත්තක් නොවන්නේය. ඒ සඳහා ආරම්භයක් ගත හැකි පෞරුෂයක් ඇත්තේ, එහෙමත් අම්මා තාත්තා කෙනෙකුටය. පොතෙන්ම ලෝකය ජය ගැනීම සඳහා දරුවන් යොමු කරවන අන්තය එකකි. ඒ ආකාරයේ දක්ෂතා ඇති දරුවෝ ද ඇත්තාහ. ඒ සඳහා සමස්ත දරු පරපුරම සමත් නැති වග අප දැනගත යුත්තේය.

‘අපොස සාපෙ’ බවට සාමාන්‍ය පෙළ පත්ව ඇත්තේ මේ නිසාය. සාපෙළ වනාහි ඉරණම් ගමනක් නොවේය. එය ජීවිතයේ ඉතිරි කොටස සඳහා අත්‍යවශ්‍ය පාලමක් ද නොවේ. සන්ධිස්ථානයක් බව ඇත්තය. අනෙක මේ සමයේ උපාධියක් ගැනීම සඳහා සාපෙළ නොමැතිව ඕනෑතරම් අවස්ථා තිබේ.

අද මේ තීරුව ආමන්ත්‍රණය කරනුයේ පාස් වූ දරු කැල සඳහා නොවේ. අනෙක් පිරිස සඳහාය. අසමත් යන විරුදාවලිය මේ සඳහා යොදා නොගන්නේ එමඟින් ජීවිතය අසමත් නොවන හෙයිනි. ජීවිතය සමත්වීම සඳහා මාවත් බොහෝය. වෘත්තිය කේන්ද්‍ර කරගත් පාඨමාලා රාශියක් උපාධිය දක්වා රජය ඔබහට ලබා දෙන්නේය. ඒ සඳහා දැරිය යුත්තේ අවම පිරිවැයකි. මේ සඳහා උත්සුක වී, ඔබගේ ජීවන මාවත නිසැක ලෙසම සාරකරගත හැක්කේය. ජීවිතය සමත් වන්නේ එසේ මිස, එක්තරා කඩුල්ලක් පසුපස පන්නාගෙන යෑමෙන් නොවේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT