අවිශ්ක ප්‍රනාන්දු රැස් කළ වේගවත් ඉනිම හේතුවෙන් සිම්බාබ්වේ පැවැත්වෙන Zim Afro T10 තරගාවලියේ 18 වැනි තරගයේදී එන්වයිඑස් ලාගෝස් පිලට ලකුණු 42ක විශිෂ්ට ජයක් අත් විය.
කේප්ටවුන් ස්පෑම් ආමි පිල සමඟ පැවති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ලාගෝස් පිල කඩුලු 2ක් දැවී ලකුණු 148ක් රැස් කළ අතර, එම ඉලක්කය හමුවේ කේප්ටවුන් පිලට ඕවර 10 අවසානයේ රැස් කළ හැකි වූයේ ලකුණු 106ක් පමණි.
ලකුණු 40ක් රැස් කළ බ්‍රයන් බෙනට් කේප්ටුවන් ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ අතර, පන්දු යැවීමේදී නායක තිසර පෙරේරා කඩුල්ලක් බිඳ දැම්මේය. බිනුර ප්‍රනාන්දු ඕවර 2කදී ලකුණු 16ක් පමණක් ලබා දුන් අතර, ඔහුට තරගයේ වීරයා සම්මානය හිමි විය.
ලාගෝස් පිල වෙනුවෙන් අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 66ක් රැස් කළේ පන්දු 27කදී හතරේ පහර 5ක් සහ හයේ පහර 6ක් සමඟිනි. වෑන් ඩර් ඩුසේන් පන්දු 21කින් ලකුණු 51ක් රැස් කළේය.
මේ අතර තරගාවලියේ 16 වැනි තරගයෙන් ලකුණු 54ක ජයක් හිමි කර ගැනීමට දසුන් ශානක නායකත්වය දෙන හරාරේ බෝල්ට්ස් පිල සමත් විය.
හරාරේ පිල පළමුව පන්දුවට පහර දෙමින් දුන් ලකුණු 173ක දැවැන්ත ඉලක්කය හමුවේ ඩර්බන් වුල්ස් පිලට ඕවර 10 අවසානයේ කඩුලු 6ක් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 119ක් පමණි.
හරාරේ පිල වෙනුවෙන් වේගවත් ශතකයක් රැස් කිරීමට ජෝර්ජ් මන්සි සමත් වූයේ පන්දු 38කදී හතරේ පහර 6ක් සහ හයේ පහර 10ක් සමඟිනි. ළහිරු මිලන්ත ලකුණු 13ක්, ජනිෂ්ක පෙරේරා ලකුණු 24ක් සහ නායක දසුන් ශානක නොදැවී ලකුණු 7ක් රැස් කළහ.