ගෝණපීනුවල, මහවේල්ල අඹගහහන්දිය මාර්ගයේ පාපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයකු ලොරි රථයක ගැටීමෙන් බරපතළ තුවාල සිදු වීමෙන් මරණයට පත්ව ඇති බව ගෝණපීනුවල පොලිසිය පැවසීය.
මෙසේ මරණයට පත්ව ඇත්තේ ගිණිමැල්ලගහ, බටහිර ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි දෙදරු පියෙකි. මෙම පුද්ගලයා පුද්ගලික ආයතනයක සේවය කොට පසුගිය 24 වැනි දින පස්වරැ 6.45ට පමණ ගෝණපීනුවල නගරයට යතුරැපැදියෙන් යන අවස්ථාවේදී මෙම අනතුර සිදුව ඇත. ඔහුගේ බිරිය පසුදා පොලිසියට පවසා ඇත්තේ තම ස්වාමිපුරුෂයා තමන් සේවය කරන ආයතනයේම සේවය කරන බවත්, පසුදා වනතුරු නිවෙසට නොපැමිණි බවත්ය. ඒ සමඟම පොලිසියට තොරතුරක් ලැබී ඇත්තේ, නාඳුනන පුද්ගලයකු මහවේල්ල මාර්ගයේ කෑලෑව අසල වැටී සිටින බවයි. පොලිසිය එම ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමේදී එම පුද්ගලයා පැමිණිල්ල දැමූ කාන්තාවගේ ස්වාමිපුරුෂයා බවට හඳුනාගැනීමෙන් අනතුරුව පොලිසිය තුවාලකරු ආරච්චිකන්ද රෝහලට රැගෙන ගොස් ඇති අතර, වෛද්‍යවරයා පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඔහු මියගොස් ඇති බවට අනාවරණය කොට ඇත.
මෘත ශරීරය මරණ පරීක්ෂණය සඳහා ගාල්ල කරාපිටිය මහරෝහලට රැගෙන ගොස් මරණ පරීක්ෂණය පැවැත්වූ අධිකරණ වෛද්‍ය නිලධාරී අජිත් රත්නවීර මහතා රිය අනතුරින් හිසට සහ මොළයට අධික ලෙස ලේ ගැලීම හේතුවෙන් මරණය සිදුව ඇති බවට නිගමනය කොට තිබේ. පොලිසිය පැවසුවේ, මෙම අනතුර සිදු කළ රියැදුරු සහ ලොරි රථය අත්අඩංගුවට ගෙන ඊයේ (27) දින බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ බවයි.
ගෝණපීනුවල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එස්.එම්. වේලතන්ත්රි මහතාගේ උපදෙස් මත පොලිස් පරීක්ෂක මලවීර මහතා වැඩිදුර පරීක්ෂණ පවත්වයි.