Home » බිත්තර යුද්ධය සටන් විරාමයක

බිත්තර යුද්ධය සටන් විරාමයක

by damith
September 28, 2024 1:00 am 0 comment

ෆැරල්න් දූපත් යනු ඇලස්කාව සහ හවායි ප්‍රදේශයන්ගෙන් පිටත ඇති එක්සත් ජනපදයේ විශාලතම මුහුදු පක්ෂීන්ගේ ජනපදය ය. අද මේ තීරුව ලියැවෙන්නේ එම දූපතේ එක්දහස් අටසිය අසූ ගණන්හි කතාවක් පිළිබඳව හෙයින් එම දූපතේ වර්තමාන චිත්‍රය මවා නොගන්නා ලෙස පළමුව ඉල්ලා සිටිය යුතු වේ. කුරුලු පරාදීසයක් හෙයින් සහ සීපාවා ද බහුල බැවින් මෙය දඩයක්කරුවන්ගේ ද පරාදීසයක් බවට පත්විය. නැවුම් මස් සහ බිත්තර මේ ප්‍රදේශයේ ඇත්තේය. පාරිභෝගිකයා වන්නේ මුහුදේ යන නැව් සහ බෝට්ටුය. ඒ කාලයේ මුහුදු ගමනක් සඳහා අවශ්‍ය අඩුවැඩිය දින ගණනකට රැගෙන යා නොහැකිය. මූලික කළමනා පටවාගත් පසු, යන මඟදී බොහෝ දේ සොයාගත යුතුව ඇත. එහෙව් සමයේ ෆැරල්න් දූපත් යනු මඟ හමුවන සුපර් මාර්කට් එකක් සේ නාවිකයන්ට සහ ධීවරයන්ට වැදගත්ය. වැඩිම ඉල්ලුම තිබුණේ බිත්තර සඳහාය. මස් ඉක්මනින් නරක වන්නේ මුත් බිත්තර කාලයක් තබාගත හැකිය.

මේ අලෙවි වාසිය බලා කියාගෙන, බිත්තර වෙ‍ෙළඳාමට එහි මුලින්ම ගියේ රුසියානුවෝය. මේ ආකාරයට ජයටම කරගෙන ගිය වෙ‍ෙළඳාම සඳහා අවුලක් ඇති වන්නේ, මේ ප්‍රදේශයේ පාලනය, මෙක්සිකෝවෙන් එක්සත් ජනපදයට ගිය විටය. 1849දී සැන් ෆ්‍රැන්සිස්කෝ වෙත සංක්‍රමණිකයෙකු වූ ‘ඩොක්ටර් රොබින්සන්’ බිත්තර එකතු කිරීම සඳහා දූපත් වෙත යාත්‍රා කළ අතර, මේ ඉල්ලම දුටු වහා හෙතෙම එය සිය තනි අයිතියේ තබාගැනීම සඳහා සමාගමක් පිහිටුවා වැඩේට බැස්සේය.

මේ ආකාරයට සමාගම් පැමිණ බිත්තර සඳහා තරගයක් දුන්නේය. එය සමාගම් තරගකාරිත්වයෙන් එහාට යන්නේ මුරේ නම් පක්ෂි බිත්තර සඳහා ඇතිවූ අනම්‍ය ඉල්ලුම හේතුවෙනි. සමාගම් අතර මේ සඳහා ඇතිවූ බල අරගලය හඳුන්වන්නේ බිත්තර යුද්ධය යනුවෙනි.

මේ රටේ ද පසුගිය කාලය පුරා බිත්තර යුද්ධයක් ඇතිව තිබුණි. සෑම වසරකම අවස්ථා දෙකකදී, බිත්ත ර මිල ඉහළ යන්නේ කිකිළියන් වර්ජන ක්‍රියාදාම දියත් කරන නිසා නොවේ. දෙසැම්බර් සහ අප්‍රේල් උත්සව සමය ආසන්න වෙත්ම යම් හිඟයක් මවා බිත්තරයේ ගණන් උස්සන්නේ මුදලාලිලාය. උත්සව සමය යනු මේ රටේ සාමාන්‍ය මිනිසාට සතුටු වීමට ඇති අවස්ථාවකි. ඒ කාලයට කේක් ඇතුළු රසකැවිලි නිෂ්පාදනය සහ බොහෝ ආහාර සඳහා බිත්තර අවශ්‍යය. ඒ, ප්‍රෝටීන් ලබාගැනීමේ මාධ්‍යයක් ලෙස නොවේ.

පාන් පිටිවල ඇති ග්ලුටන් හෙවත් ඇලෙනසුලුභාවය සක්‍රිය කිරීම සඳහා බිත්තරය ඉටු කරන කාර්යය හේතුවෙන්, බේකරියකට පෝරනුවක් සේම බිත්තර ද අත්‍යවශ්‍යය. වර්ණය, රසය යන සාමාන්‍ය කාර්ය ඉක්මවා, පිපීම සහ සවිවරභාවය ඇතිකිරීම ඔස්සේ පාන් පිටි නිෂ්පාදන සඳහා අත්‍යවශ්‍ය බේකරි පසුබිම නිර්මාණය කර දෙන්නේ බිත්තරය ය. බේකරි නිෂ්පාදනයේ සියලු දේට ආදේශක ඇති මුත්, බිත්තර සඳහා තවම හරි හමන් තබා ළඟට කිට්ටු කළ හැකි ආදේශකයක් හෝ නැත. මේ නිසා රොටි වැනි ප්‍රාථමික පාන් පිටි ආහාරයකට හැර එතැනින් උඩ ඕනෑම පාන් පිටි කෑමක් සඳහා බිත්තරය අත්‍යවශ්‍යය. මේ නැතුවම බැරි වීම, බිත්තර මාෆියාවේ උපතය. එසේම බිත්තරයෙන් කොමිස් ලබාගන්නා පිරිසට ඉල්ලුමක් හැදෙන්නේ, මේ ආකාරයට බිත්තරයට අනන්‍ය වූ වටිනාකමක් ලැබෙන නිසාය. බිත්තර මිල ඉස්සීම සඳහා සෑහෙන කලක පටන් උත්සාහයක් තිබුණි. අතිදැවැන්ත ලාභයක් බිත්තර විකිණීමෙන් එක් පිරිසක් ලැබූහ. තව පිරිසක් එයින් කොමිස් කඩාගෙන වැජඹුණාහ. මේ බිත්තර යුද්ධයෙන් බරපතළ හානිය සිදු වූවේ ජනතාවටය. අඩු මිලට ඇති ප්‍රෝටීන් බහුල ආහාරයක් හෙයින් එය සාමාන්‍ය මිනිසාගේ ප්‍රෝටීන් අවශ්‍යතාවය සඳහා වැදගත්ය. අනික අත්‍යවශ්‍ය යැයි සම්මත ආහාර සැකසීම සඳහා ද බිත්තර අත්‍යවශ්‍යය.

බිත්තර යුද්ධය ඇතිවෙන කල ඉන්දියාවෙන් බිත්තර ගෙන්වීම, දියර බිත්තර ආනයනය වැනි දේ සඳහා අවස්ථාව ලැබෙන්නේය. ඒ ඔස්සේ තවත් පිරිසකට වාසි පාත් වන්නේය. මේ සියල්ල සඳහා දොර වැහෙන්නේ බිත්තර මිල අඩු වූ විටය.

බිත්තරයක මිල ගිය සතිය වන විට රුපියල් දහයකින් පහළ ගියේය. එතැන් සිට මේ රටේ පාරිභෝගිකයා මෙන්ම බිත්තර කර්මාන්තය ද ආරක්ෂා කිරීම ආණ්ඩුවේ වැඩකි. මාෆියා වෙත අවස්ථාව ලබාදුන් විට ඒ ඒ ක්ෂේත්‍ර සඳහා ඇතිවන්නේය. මේ නිසා බිත්තරයෙන් පටන්ගෙන ඒ චණ්ඩි වැඩේ නවතා දැමිය යුත්තේය.

දැනට බිත්තරේ හොඳ තත්ත්වයක ඇත්තේ බැවින් එතැන් සිට අඛණ්ඩව වැඩේ දියත් කළ හැකිය. පාන් ගෙඩියේ සිට කේක් ගෙඩිය දක්වා බිත්තර මිල අඩු වීමේ වාසිය පාරිභෝගික ජනතාවට දිය හැක්කේය. බිත්තර යොදා නිපදවන බේකරි නිෂ්පාදනවල මිල හැකි උපරිමයෙන් අඩු කිරීමට පියවර ගන්නැයි සියලු බේකරි හිමියන්ගෙන් ඉල්ලා සිටින්නේ ඒවා මිලට ගන්නා අප පමණක් නොවේ. නිෂ්පාදනය කරන, සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන ද ඒ පිළිබඳව ඉල්ලීමක් කරන්නේය.

බිත්තර මිල ඉහළ ගිය කාලයේ බිත්තර යොදා නිපදවන බේකරි නිෂ්පාදනවල මිල වැඩි කිරීමට බේකරි හිමියෝ කටයුතු නොකළහ. ඒ අතරේ අප ඉල්ලා සිටින්නේ බිත්තර මිල දිගටම පහළ මට්ටමක පැවතුණ හොත් බිත්තර යොදා නිපදවන බේකරි නිෂ්පාදනහි මිල අඩු කරන ලෙසය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT