බලධාරීන්ට කීවත් තවම විසඳුමක් නෑ
නාවලපිටිය ආසනයේ ගල්පාය ග්‍රාම නිලධාරි වසමේ අම්බුළුවාව කන්දේ ඇති පයිනස් වගාවකින් වන අනතුරු නිසා රන්තැටියාවත්ත, ලැන්ටන් බී ජනපදය, අක්කර 35 හා අළුගොල්ල යන ගම්මානවල පවුල්වල 750ක් පමණ ජනතාව දැඩි භීතියකින් පසුවන බවත් මේ සම්බන්ධව නිලධාරීන් දැනුම්වත් කළත් කිසිදු ප්‍රතිඵලයක් නැති බව ඔවුහු පවසති. 1977 ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ රජයේ මෙය වගා කරන ලදි. අද වන විට එය කන්ද අවට ගම්මානවලට පවා පැතිරී ගොස් ඇත. අද වන විට ගස් දිරාපත්වී මුල් පෑදී කඩා වැටීමේ දැඩි අවදානමක් ඇති බව ඔවුහු පවසති.
මේ සම්බන්ධව අදහස් දැක්වූ ලැන්ටන් බී ජනපදයේ ජී.එන්. ශ්‍රියානි මහත්මිය,
“අප නිවෙස පිහිටා ඇත්තේ මෙම පයිනස් වගාවට පහතින් ඇති මාර්ගයට පහළ කොටසකය. මෙම ගස් කඩා වැටීම සිදු වන නිසා අපි වර්ෂා වෙලාවට සුළං වෙලාවට දැඩි භීතියෙන් දරුවන් සමඟ ගත කරන්නේ. ග්‍රාම නිලධාරි මඟින් ප්‍රාදේශීය ලේකම් මඟින් නාවලපිටිය සංරක්ෂණ දෙපාර්තමේන්තුවට හා වන අඩවි කාර්යාලයට දැනුම් දුන්නා, නමුත් ලිපි 7ක් පමණ භාර දුන්නත් ගස් ටික කැපුවේ නැත. පසුව ගිය වසරේ අපි මේ සම්බන්ධව මාධ්‍ය මඟින් හා ගඟ ඉහළ ප්‍රාදේශීය ලේකම්තුමිය මඟින් දැනුම් දුන් පසු පැමිණ ගස් 05ක් පමණ කපා ගියා. මුල් පෑදී වැටෙන්න තිබෙන ගස් දෙස බලමින් මෙම නිලධාරීන් යන්න ගියා.
අප බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ නිවාසවලට හා මාර්ගයේ අයිනේ ඇති මෙම අනතුරුදායක ගස් ටික ඉදිරි වර්ෂා කාලයට පෙර කපා ඉවත් කර දෙන ලෙසයි. පසුගිය මස පැවති අයහපත් කාලගුණයෙන් මාගේ නිවෙස හා ජීවිතය බේරුණේ අනූනවෙයනි. ඉන් පසු ග්‍රාම නිලධාරි මහතා පැමිණ විස්තර රැගෙන ගියා. මාධ්‍ය මඟින් පෙන්වා දුන්නත් නාවලපිටිය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් බලධාරින් අපට සලකන්නේ කුඩම්මාගේ සැලකිලි. අප ඉල්ලන්නේ ජීවිත හා දේපළ විනාශ වීමට පෙර මෙම ගස් ඉවත් කර දෙන ලෙසයි.”
මෙම සම්බන්ධව අදහස් දැක්වූ රන්තැටියාවත්තේ අනුලා කුමාරි මහත්මිය පවසා සිටියේ අළුගොල්ල ගම මැදින් රන්තැටියාවත්ත ලැන්ටන් බී ජනපදයට ඇති මාර්ගයට උඩින් මෙම පයිනස් ගස් ඇති බවත් එය අද ජන ජීවිතයට හා දේපළවලට හානි ගෙන දෙන ගස් බවට පත්ව ඇති බවය. මෙය ඉවත් කර දෙන ලෙස 2015 සිට අප බලධාරීන් දැනුම්වත් කළත් ප්‍රතිඵල නැත. වත්මන් ප්‍රාදේශීය ලේකම් චමිලා මහත්මිය මැදිහත්වී පසුගිය වසරේ ගස් 5ක් 10ක් පමණ ඉවත් කර දුන්නා. නමුත් ඉතිරි අවදානම් ගස් ටික ඉවත් කරන්න කිව්වත් එසේ නොකළ බවය. මෙම මාර්ගයේ ගම්පොළ ගල්පාය පාසල්වලට ළමුන් යනවා, ඒ වගේම දලු ලොරි හා වෑන් යනවා එනවා. මෙම ගස් නිසා තමන්ගේ රැකියාව පවා නොකර දරුවන් පාසල් රැගෙන යනවා.
එදිනෙදා කුලී වැඩ කරමින් ජීවනෝපාය කරගෙන යන මවුපියන් කබලෙන් ළිපට වැටී ඇති බව ඇය කියා සිටියාය. බලධාරීන්ගෙන් අප ඉල්ලන්නේ මෙම අවදානම් ගස් ටික කඩිනමින් ඉවත් කරදෙන ලෙසයි.”

මාර්ගයට පහතින් ඇති නිවාස

පසුගිය වර්ෂාවට ගස් කඩා වැටී ඇති අයුරු