සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති ඕමාර් ලෙබ්බේ අමීර් අජ්වාඩ් මහතා සෞදි අරාබියේ ප්‍රවාහන හා සැපයුම් සේවා අමාත්‍ය ඉංජීනේරු සාලේ බින් නසීර් අල් ජසර් මහතා පසුගියදා(12) හමු වූ අතර එහිදී දෙරට අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව වැඩිදියුණු කිරීමේ ක්‍රම සහ විධි පිළිබඳව සාකච්ඡා කළේය.
අමාත්‍ය සාලේ අල්-ජසර් මහතා විසින් ශ්‍රී ලංකා තානාපති අමීර් අජ්වාඩ් මහතා ව උණුසුම්ව පිලිගත් අතර, දෙරට අතර සම්බන්ධතාව සෑම අංශයකින්ම වැඩිදියුණු කිරීමේ වැදගත්කම පිළිබඳව මෙහිදී අවධාරණය කළේය.
මහජන සම්බන්ධතාව වැඩිදියුණු කිරීමේ අරමුණින් සෞදි ජාතිකයින්ට ශ්‍රී ලංකාවට වීසා රහිත ගමන් පහසුකම් සැලසීමට ශ්‍රී ලංකාව මෑතදී ගත් තීරණය පිළිබඳව අවධාරණය කළ තානාපති අමීර් අජ්වාඩ් මහතා සෞදි ගුවන් සේවය ශ්‍රී ලංකාව වෙත නැවත ආරම්භ කිරීමට ද යෝජනා කළේය. දෙරට අතර ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් ගුවන් සේවයේ දෛනික මෙහෙයුම් සඳහා සිවිල් ගුවන් සේවා සඳහා වන පොදු අධිකාරිය (GACA) විසින් ලබා දෙන ලද නොමසුරු සහයෝගය පිළිබඳව ද තානාපතිවරයා සිය ප්‍රසාදය පළ කළේය. දෙරට අතර ගුවන් සහ නාවික සම්බන්ධතා වැඩිදියුණු කිරීම සඳහා ක්‍රම සහ විධි පිළිබඳව ද සාකච්ඡාවේ දී ගවේෂණය කරන ලදී.
අමාත්‍ය සාලේ දැනට සභා සහ කමිටු ගණනාවක මුලසුන හොබවයි – ඔහු සිවිල් ගුවන් සේවා සඳහා වන සාමාන්‍ය අධිකාරියේ සභාපති, සෞදි ගුවන් සේවය (SAUDIA) හි සභාපති, ප්‍රවාහන පොදු අධිකාරියේ සභාපති, සෞදි වරාය අධිකාරියේ සභාපති සහ සෞදි දුම්රිය සමාගමේ (SAR) සභාපති මෙන්ම කාර්මික සංවර්ධන හා සැපයුම් වැඩසටහන් කමිටුවේ උප සභාපති ලෙසද කටයුතු කරයි.
තානාපතිවරයා සමඟ රියාද් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ අමාත්‍ය / දූත මණ්ඩල ප්‍රධානී මොහොමඩ් අනාස් මහතා ද සහභාගී විය.