Home » ළමා අපයෝජන සිද්ධියට රිමාන්ඩ් භාරයේ සිටි හිමිනම හදිසියේ අපවත් වෙති

ළමා අපයෝජන සිද්ධියට රිමාන්ඩ් භාරයේ සිටි හිමිනම හදිසියේ අපවත් වෙති

by mahesh
September 27, 2024 1:00 am 0 comment

සූරියවැව විශේෂ නුවන් ජයසේකර‍

ළමා අපයෝජන සිද්ධියට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිමිනම හදිසියේ රෝගාතුරුවී අපවත් වෙති.

බාලවයස්කාර පිරිමි ළමුන් දෙදෙනකුට ලිංගික අතවර කිරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටියදී හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර සිටි හිමිනමක් 25 වැනි දින සවස අපවත්වී ඇතැයි හම්බන්තොට පොලිසිය පවසයි.

මෙලෙස අපවත්වී ඇත්තේ වීරවිල පොලිස් වසමේ කුඩා ගම්මාන 18, වෙහෙරපැලැස්ස පුරාණ රජමහා විහාරස්ථානයේ වැඩ විසූ වැලියායේ රතනවංශ නමැති 65 හැවිරිදි හිමිනමකි.

අපවත්වූ සැකකාර හිමිනම බාලවයස්කාර පිරිමි ළමුන් දෙදෙනකු අපයෝජනය කිරීමේ චෝදනා යටතේ පසුදිය දින වීරවිල පොලිසිය අත්අඩංගුවට ගෙන තිස්සමහරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ අනුව බන්ධනාගාරගත කර සිටි හිමිනම බන්ධනාගාරය තුළදී හදිසියේ අසනීප වීම හේතුවෙන් බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ වාට්ටු අංක 18 හි නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී අපවත්වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් හම්බන්තොට පොලිසිය හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු හම්බන්තොට මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ඕෂධ මිගාර මහආරච්චි මහතා රෝහලට පැමිණ මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්විණි. සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසට මෙහිදී මහේස්ත්‍රාත්වරයා හම්බන්තොට මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට නියම කෙරුණි. සිද්ධිය පිළිබඳව හම්බන්තොට පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT