Monday, April 7, 2025
Home » දැන් රට වෙනුවෙන් වැඩ කිරීම අත්‍යවශ්‍යයි

දැන් රට වෙනුවෙන් වැඩ කිරීම අත්‍යවශ්‍යයි

සබරගමුව විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රෝහණ පී. මහලියනආරච්චි

by mahesh
September 27, 2024 1:02 am 0 comment

උදිත ගුණවර්ධන

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය අමතමින් සිදු කළ ප්‍රකාශය, පසුගිය ජනාධිපතිවරණයෙන් සිදු වූ සමාජ පරිවර්තනය රටට වඩාත් වැඩදායී ලෙස යොදා ගන්නේ කෙසේද යන්න පිළිබඳව සබරගමුව විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රෝහණ පී. මහලියනආරච්චි මහතා සමඟ සිදු කළ සාකච්ඡාවකි මේ.

– මෙවර ප්‍රචණ්ඩ ක්‍රියා කිසිවක් නොවීම වැදගත් ලක්ෂණයක් 
– බහුතරයක් ඡන්දය පාවිච්චි කළේ වෙනසක් අපේක්ෂාවෙන්
– දේශපාලනඥයන්ට පමණක් දොස් කීමෙන් ඵලක් නැහැ

මෙවර සිදු වුණේ සාමාන්‍ය ආණ්ඩු පෙරළියක් නොවෙයි,ඉන් එහා ගිය දේශපාලන පරිවර්තනයක්. මේ සමාජ සහ දේශපාලන පරිවර්තනය පිළිබඳව ඔබේ අදහස පැහැදිලි කළ හැකි ද?

“මේ දේශපාලන වෙනස ජනතාව අවුරුදු ගණනක් අපේක්ෂා කළ එකක්. සොරුන් ඇල්ලීම, දූෂණය පිටුදැකීම අලුත් දේශපාලන ක්‍රමයක් ආරම්භ කිරීම මේ අපේක්ෂා අතර ප්‍රමුඛයි. 1994 දී අවුරුදු 17ක එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු පාලනය අවසාන කිරීමට ජනතා මූලිකත්වයෙන් විශාල පෙළගැස්මක් ඇතිවුණේ දූෂණය, භීෂණය, වංචාව පිටු දැකීමේ අරමුණ ඇතිවයි. එදා ඒ ආණ්ඩුවත් යහපත් සහ ප්‍රගතිශීලී ප්‍රවේශ රැසක් ගත්තා. අනවශ්‍ය වාහන භාවිතය, විශාල ඇමැති මණ්ඩල වෙනුවට කුඩා කැබිනට් මණ්ඩල වගේම රාජ්‍ය මාධ්‍යවලින් බැහැරව ප්‍රවෘත්ති ප්‍රකාශයට පත් කිරීමට අවස්ථාව ලැබුණෙත් මේ කාලයේදී. ඒ කාලයෙන් පසු 2005දී මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව පැමිණීමත් සමඟ නැවතත් රට නරක අතට පත්වුණා. සොරකම්, වංචා, වාහන අවභාවිතය ඇතුළු දේවල් වැඩි වුණා. එහෙත් බොහෝ අවස්ථාවල මේ අකටයුතුකම් සිදුවුණත් ඒවා ඔප්පු කිරීමට හැකියාව අවම මට්මමකයි තිබුණේ. එහෙත් ජනතාව මේ සියල්ල ගැන හොඳ අවබෝධයකින් සිටියේ. එහි අවසාන ප්‍රතිඵලයක් විදිහට 2015 දී යහපාලන ආණ්ඩුව බලයට ගෙන ඒමට ජනතාව කටයුතු කළා. ඒත් ඒ ජනතා අපේක්ෂා මොනවාද, ඒ අපේක්ෂා ඉටු කරන්නේ කොහොමද කියල එදා සිටි පාලකයන් තේරුම් ගත්තේ නැහැ. එහි ප්‍රතිඵලය වුණේ ජනතාව තුළ ලොකු අපේක්ෂා භංගත්වයක් ඇතිවීමයි. 2019 දී ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කිරීමේ ජනතා අභිලාෂය ඇතිවුණෙත් මේ නිසයි. එහෙත් ඒ ජනතා අපේක්ෂා ඉටු කර ගැනීමට ලැබුණේ නැහැ. ඒ තත්ත්වයේ අවසාන ප්‍රතිඵලය විදිහට සිදු වුණේ ජනතාව ලොකු අපේක්ෂා භංගත්වයට සහ අවිශ්වාසයට පත්වීමයි.”

ඔබ සඳහන් කරන්නේ මේ ඇතිවූ දේශපාලන සමාජ පෙරළියට මේ තත්ත්වය කුමන ආකාරයට ද බලපෑවේ?

“අනිවාර්යයෙන්ම ලොකු ජනතා අපේක්ෂාවක් සහිතව තමයි ජනතාව මෙවර මැතිවරණයේදී කටයුතු කළේ. ඒ ජනතා අපේක්ෂාව සැබෑ කිරීම සඳහා කටයුතු කිරීම කළ යුතුයි. එසේ කිරීම මඟින් දේශපාලන ක්‍රමයේ වෙනස වෙනුවෙන් ලැබුණු ජනමතය සැබෑ කිරීමට හැකියාව ලැබේවි.”

නව රජයේ අරමුණ බවට පත්ව තිබෙන්නේ දේශපාලන භේදයකින් තොරව වැඩ කළ හැකි නිලධාරීන් කණ්ඩායමක් පත් කිරීමයි, පක්ෂ දේශපාලනය මැතිවරණ කාලයට සීමා කරමින්, හැකියාව, දක්ෂතාව තිබෙන නව නිලධාරීන් රට වෙනුවෙන් කටයුතු කිරීමයි. මේ පිළිබඳව ඔබේ අදහස පැහැදිලි කළ හැකිද?

“ඔව්, අවශ්‍ය කරන්නේ රට වෙනුවෙන් වැඩ කරන කණ්ඩායමක්. දේශපාලනය මැතිවරණයට සීමා කළ යුතුයි. ඉන්පසුව කාලයේ පක්ෂ, විපක්ෂ භේදයකින් තොරව කටයුතු කිරීමයි. රට ඉදිරියට ගෙනයෑමට දක්ෂ අදූෂිත කණ්ඩායමක් අවශ්‍ය කරනවා. ඒ වෙනුවෙන් අවශ්‍ය කරනු ලබන පසුබිම අද වන විට නිර්මාණය වෙමින් තිබෙනවා.

සැබැවින්ම අද මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා නැවත එම අමාත්‍යාංශයේ ලේකම්වරයා විදිහට පත් කිරීමටත් මහ බැංකු අධිපතිවරයාගේ ධුර කාලය නියමිත කාලය දක්වා පවත්වාගෙන යාමට අවස්ථාව ලබා දී තිබෙනවා. ඇත්තෙන්ම රටේ ඇතිව තිබෙන ආර්ථික අර්බුදය, ණය අර්බුදය තීරණාත්මක තැනක තිබෙන්නේ. ඒ අවුල් සහගත තත්ත්වයන් කෙමෙන් විසඳා ගැනීමට කටයුතු කළ යුතුයි. ඒ කාර්යය සඳහා මේ ප්‍රශ්නය විසඳීමට කාලයක් කටයුතු කළ නිලධාරීන් පත් කිරීම හොඳ තත්ත්වයක් විදිහටයි සැලකීමට හැකියාව තිබෙන්නේ.

පසුගිය දිනවල අලුත් ජනාධිපතිතුමා සිදු කළ පත්වීම් පිළිබඳ ඇත්තෙන්ම සතුටු වෙන්න පුළුවන්. තමන්ගේ පක්ෂයේ තමන්ට හිතවත් පිරිසක්ම නොවෙයි වැඩේ, නිසි ලෙස පවත්වාගෙන යන්නේ. ඒ ගැන අප අගය කළ යුතුයි. රට නව ගමනක් යාමට මේ විදිහේ ප්‍රවේශයක් ලබා ගැනීම හොඳ දෙයක් විදිහටයි මම දකින්නේ.

අවශ්‍ය නම් ජනාධිපතිවරයාට, මුදල් අමාත්‍යාංශයට තමන්ගේ පක්ෂයේ කෙනෙක් පත් කර ගන්න තිබ්බා. එහෙත් ඔහු එසේ නොකර පුළුල් විදිහට බලා කටයුතු කරමින් සිටිනවා. අද අවශ්‍යතාව වෙලා තිබෙන්නෙ ජනතා අපේක්ෂා සැබෑ කිරීමයි.”

නීතිය ක්‍රියාත්මක කිරීම, වැරැදිකරුවන් හඳුනාගෙන ඔවුන් වෙත දඬුවම් කිරීම වැනි දේ පිළිබඳ පසුගිය කාලයේදී ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව තිබෙනවා. මේ ගැන ඔබේ අදහස කුමක්ද?

“ඇත්තෙන්ම ජනතාව මේ ආණ්ඩුවෙන් බලාපොරොත්තු වුණේම නීතිය සාධාරණ ලෙස ක්‍රියාත්මක කිරීමයි. ඒ නිසා ඒ පිළිබඳව අවබෝධයක් ඇතිව මේ කාර්යය ඉටු කළ යුතුයි. අපිට බලය තිබුණා කියා අධිකරණ නියෝග පිළිනොගෙන සිටීමට හැකියාවක් නැහැ. ඒ තත්ත්වයට හොඳම උදාහරණයක් සඳහන් කරන්න පුළුවන්. පසුගිය කාලයේදී ආගමන විගමන දෙපාර්තමේන්තුවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක් ලබා දුන්නා, එහෙත් ඒ නියෝගය එහි ප්‍රධානියා පිළිගත්තේ නැහැ. ඒ නියෝගය පිළිනොගැනීම ඉහළින් පැමිණි නියෝගයක් විය හැකියි. එහෙත් ඒ දේ කවුරුන් සිදු කළත් අධිකරණයට අපහාස කිරීම ලොකු වරදක්. ඒ වරද ගමේ සාමාන්‍ය මිනිහෙක් කළත් රටේ ඉහළම කෙනෙක් කළත් ඒක වැරැද්දක් විදිහට සඳහන් කරන්න පුළුවන්.

පසුගිය කාලයේදී හිටපු ජනාධිපතිවරයාට නියෝගයක් ලබා දුන්නා පොලිස්පතිවරයාගේ වැඩ තහනම් කිරීම නිසා වැඩබලන පොලිස්පතිවරයකු පත් කරන ලෙස. ඒත් හිටපු ජනාධිපතිවරයා ඒ නියෝගය පිළිනොගෙන කටයුතු කළා. අද හිටපු ජනාධිපතිවරයාට ජනාධිපති මුක්තිය නැහැ. ඒ නිසා අවශ්‍ය නම් අධිකරණ නියෝග පිළිනොගැනීම පිළිබඳව පුරවැසියකුට උසාවි යන්න පුළුවන්.

හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ තමන් ද ජනාධිපති අපේක්ෂකයකු වන නිසා වැඩබලන පොලිස්පතිවරයකු පත් කිරීම ඔහුට සිදු කරන්න බැහැ කියලා. එහෙත් ඔහු මැතිවරණ කාලයේදී අනවශ්‍ය උපදේශකවරු පත් කළා. ඒ නිසා උසාවි නියෝග නොතැකීම වැරැදි දෙයක් වගේම එය දඬුවම් ලැබිය හැකි වරදක්.

පාර්ලිමේන්තුව අධිකරණයට වඩා උත්තරීතරයි කියන මතය දෙදහස වර්ෂයේදී හිටපු කථානායක අනුර බණ්ඩාරනායක මහතා විසින් සඳහන් කළා. එහි සත්‍යයක් තිබෙනවා. එහෙත් පුද්ගලයකුට අධිකරණ නියෝගයක් නොතකා සිටීමට බැහැ.

ජනාධිපතිවරයා සඳහන් කළා නීතිය, රටේ විනය ඇති කළ යුතු බව. මෙහිදී රටේ විනය ගොඩනැඟීම වැනි කාර්යයන් දියුණු රටක් සඳහා යන ගමනේදී වැදගත්. ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් කළ හැකි ද?

අනිවාර්යයෙන්ම. රටක් ගොඩනඟන්න නම් මූලිකම දේ වෙන්න ඕනෑ විනයානුකූල වීමයි. එහිදී මූලිකවම මම දකින අඩුපාඩුවක් තමයි අපේ ජනතාවට මාර්ග නීතිය පිළිබඳ විනයක් නොමැතිකම. දේශපාලනඥයන්ට පමණක් දොස් කීම පසෙකලා රටේ විනය ගොඩනැඟීම අපෙන් පටන් ගත යුතුයි.එහෙම වුණොත් අපට හොඳ රටක් අනාගතයේදී ගොඩනැඟීමට පුළුවන්කම ලැබේවි. මම එක් උදාහරණයක් කියන්නම්, මෑතකදී වර්ණ සංඥා ළඟදී එය නොතකා මෝටර් රථයක් ගමන් කළා. එතැන ලොකු අනතුරක් වෙන්න තිබුණා. එය වාසනාවට වගේ වැළකී ගියා. මෙම වාහනය පදවාගෙන ගියේ තරුණයෙකු විසිනුයි. ඒ නිසා අපි තරුණයන් අතරින්ම මේ විනය ගොඩනැඟිය යුතුයි. එමඟින් අපට අලුත් රටක් ගොඩනැඟීමට පුළුවන්කම ලැබෙනවා.

අප මේ දිනවල රජයේ නව තනතුරු සඳහා ලබා දුන් පත්වීම් නිරීක්ෂණය කළා එහිදී හොඳ නිලධාරීන්, ලේකම්වරුන් රැසක් පත් කර තිබෙනවා.එය හොඳ ප්‍රවේශයක් විදිහට සඳහන් කිරීම වටිනවා.

මෙවර ජනාධිපතිවරණය සමඟ ඈඳුණු අනෙක් වචනය වූයේ ප්‍රචණ්ඩත්වයයි. බොහෝ තැන්වල සඳහන් වූයේ විශාල පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩත්වයක් ඇති විය හැකි බවයි. එහෙත් එය එසේ නොවී ඉතාමත් සාමකාමී ලෙස මැතිවරණයෙන් පසු කාලය ගෙවී ගියා. මේ තත්ත්වය අපේ රටේ විනය ඇති වීමක් නේද?

“එදා වගේ නොවෙයි අද ජනතාව ඉතාමත් දියුණුයි. එදා තමයි නොදියුණු පිරිසක් විදිහට ප්‍රචණ්ඩත්වයට මිනිස්සු යොමු වුණේ. 1977 දී තමයි එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය සමඟ විශාල ප්‍රචණ්ඩත්වයක් දියත් වුණේ. ඒ නොදියුණු ලක්ෂණය 1994 වර්ෂයේදී අවසාන වුණා. ඉන්පසුව කිසිදු මැතිවරණයකදී ප්‍රචණ්ඩත්වය ඉස්මතු වුණේ නැහැ. වයඹ මැතිවරණයේදී ප්‍රචණ්ඩත්වය ඇති වුණේ ස්වාභාවිකව නොවෙයි. එය ඇති කරනු ලැබූ ප්‍රචණ්ඩත්වයක්. එයින් පසු ප්‍රධාන පෙළේ පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා ප්‍රමාණයක් ඇති වුණේ නැහැ. මෙවරත් ජනාධිපතිවරණයෙන් පසු ප්‍රචණ්ඩ ක්‍රියා කිසිවක් සිදු වුණේ නැහැ. එය අගය කළ යුතු දෙයක් විදිහට පෙන්වා දෙන්න ඕනෑ. මෙයින් අපට තහවුරු කරගන්න පුළුවන් දේ තමයි අපි රටක් විදිහට, සමාජයක් විදිහට යම් දියුණුවක් ලබා තිබෙන බව. ඒ විනයානුකූල දියුණුව ඉදිරියටත් පවත්වා ගෙන යා යුතුයි. දැන් සමාජය එදාට වඩා ගොඩක් වෙනස්. ඒ නිසා තමයි මෙවර ජනමතය මේ විදිහට ලොකු වෙනසකට ලක් වුණේ.”

ඔබ එසේ සඳහන් කරන්නේ කුමන සාධක මූලික කරගෙන ද?

“මෙවර මැතිවරණයේදී තාක්ෂණය පිළිබඳ සමහර අපේක්ෂකයන්ගේ වේදිකාවල කතාබහ ඇති වුණා. ඒ වගේම විවිධ සහනාධාර පිළිබඳ මැතිවරණ වේදිකාවල අදහස් පළ වුණා. එහෙත් මිනිස්සු අපේක්ෂා කළේ මේ ක්‍රමයේ වෙනසක්. ඒ වෙනුවෙන් තමයි මිනිස්සු බහුතරයක් ඡන්දය පාවිච්චි කළේ. ඒ නිසා මම විශ්වාස කරනවා මිනිස්සු යම් කිසි නව ක්‍රමවේදයක් බලාපොරොත්තු වෙනවා, ඒ වෙනුවෙන් තම ජනමතය පාවිච්චි කළා කියලා. මම ඒ අදහස තමයි මේ මොහොතේදී දරන්නේ.”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT