Home » ලෝක කනිෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම චීනයට යයි

ලෝක කනිෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම චීනයට යයි

by sachintha
September 26, 2024 1:54 am 0 comment

ලෝක බැඩ්මින්ටන් සම්මේලනය විසින් මෙහෙයවනු ලබන පළමු ශ්‍රේණියේ තරගාවලි දෙකක් වන යොනෙක්ස් BWF සුහන්දිනටා කුසලාන ලෝක කනිෂ්ඨ කණ්ඩායම් ශූරතා බැඩ්මින්ටන් තරගාවලියට සහ යොනෙක්ස් BWF අයි ලෙවල් කුසලාන ලෝක කනිෂ්ඨ තනි තරග බැඩ්මින්ටන් ශූරතාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම චීනය බලා පිටත්ව ගියේය.

ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 15 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩකයන් 7 දෙනකු සහ ක්‍රීඩිකාවන් 8 දෙනකු ඇතුළත් වන අතර, ෂෙනුක් සමරරත්න පිරිමි කණ්ඩායමේ සහ රනිත්මා ලියනගේ කාන්තා කණ්ඩායමේ නායක නායිකාවන් ලෙස කටයුතු කරති. ලෝක බැඩ්මින්ටන් සම්මේලනය වෙනුවෙන් චීන බැඩ්මින්ටන් සංගමය සංවිධාන කරන එම තරගාවලි ද්විත්වයේ සුහන්දිනටා කුසලාන ලෝක කනිෂ්ඨ කණ්ඩායම් ශූරතා බැඩ්මින්ටන් තරගාවලිය මේ මස 30 වැනිදා සිට ඔක්තෝබර් මස 5 වැනිදා දක්වා ද, අයි ලෙවල් කුසලාන ලෝක කනිෂ්ඨ තනි තරග බැඩ්මින්ටන් ශූරතාවලිය ලබන මස 7 වැනිදා සිට 13 දින දක්වා ද චීනයේ නැංචැං ජාත්‍යන්තර ක්‍රීඩා මධ්‍යස්ථානයේදී පැවැත්වීමට නියමිතය.

ලොව ප්‍රබලතම බැඩ්මින්ටන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වන එම තරගාවලි ද්විත්වයට රටවල් 40ක් තරග වදින අතර, ශ්‍රී ලංකාව ‘එෆ්’ කාණ්ඩයෙන් තරග බිමට පිවිසෙයි. ශ්‍රී ලංකාව සමඟ ඉන්දුනීසියාව, පෝලන්තය, උතුරු මරියානාස් සහ මැකාවෝ එම කාණ්ඩයට ඇතුළත් ය. තරගාවලියට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තුන්දින පුහුණු වැඩසටහනකට ද සහභාගි වීමට නියමිත අතර, එය මේ මස 26 වැනිදා සිට 28 දින දක්වා පැවැත්වේ.

සහන් දීලක සහ දුමින්ද නිරෝෂණ මහත්වරු පුහුණුකරුවන් ලෙසත්, අසංක විජේසුන්දර, සුමිත්‍රා දිසානායක, බුද්ධික ද සිල්වා, විජයලක්ෂ්මි පුංචිහේවා මහත්ම මහත්මීහු නිලධාරී මණ්ඩලය ලෙසත් සංචාරයට එක්ව සිටිති.

ශ්‍රී ලංකා පිරිමි බැඩ්මින්ටන් කණ්ඩායම: ෂෙනුක් සමරරත්න (නායක), තිළිණ රාජකරුණා, තිඩස වේරගොඩ, අචින්ත්යව මඩපාතගේ, පසිඳු මිහිරංග, සංජුල හඳපාන්ගොඩගේ, පමිත් අත්තනායක.

ශ්‍රී ලංකා කාන්තා බැඩ්මින්ටන් කණ්ඩායම: රනිත්මා ලියනගේ (නායිකා), සිතුලි රණසිංහ, රෂ්මි භාග්‍යා මුදලිගේ, වරංගනා ජයවර්ධන, දිලිනි අම්බලන්ගොඩගේ, සඳති හේවාගාල්ලගේ, ඉසුරි අත්තනායක, සිතුමි මිනාරා ද සිල්වා.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT