Home » අලි ගහන පාරේ පයින් යන ජන ජීවිත අනතුරේ
දුන්ගොල්ල පාරේ පැන්නුම් පාලම අබලන්: ගමට ගිය එකම බසයත් නැවතිලා

අලි ගහන පාරේ පයින් යන ජන ජීවිත අනතුරේ

by sachintha
September 26, 2024 2:15 am 0 comment

වනඅලි සහ වනසතුන් නිතර ගැවසෙන දුන්ගොල්ල මාර්ගයේ පිහිටි අබලන් තත්ත්වයේ පවතින පැන්නුම් පාලම සංවර්ධනය කර ගමට බස් රථයක් ලබාදීමට පියවර ගන්නැයි ප්‍රවාහන ගැටලුව හමුවේ වසර ගණනාවක සිට පීඩා විඳින එම ගම්වාසීහු අදාළ අංශ වෙත අවධානය යොමු කරති.

දුන්ගොල්ල ගම මිනිපේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හුදෙකලා වූ අතිදුෂ්කර ගම්මාන අතරට එක් වූ ගොවි පවුල් 85ක 343ක් පමණ ජනතාවක් පදිංචිව සිටින තවත් සුන්දර ගම්මානයකි. කෘෂි ආර්ථිකයෙන් ජීවන ගමන ගෙන යන මෙම ගැමියාගේ දෛනික කටයුතුවලට සහ ආර්ථිකයට මෙන්ම දරුවාගේ පාසල් ගමනට ද බාධා ගෙන දී ඇත්තේ ප්‍රවාහන හා මාර්ග ගැටලුව බව ඔවුහු සඳහන් කරති.

ප්‍රදේශවාසී ජී.ජී. සුනිල් කරුණාරත්න මහතා ඒ සම්බන්ධයෙන් මෙසේ පැවැසීය.

“දුන්ගොල්ල ගමේ පාසල් දරුවන් 60 දෙනකු පමණ සිටිනවා. මේ අයගෙන් ගමේ ප්‍රාථමික පාසලේ දරුවන් 38 දෙනකු පහ වසර දක්වා අධ්‍යාපනය ලබන අතර, පහ වසරෙන් ඉහළ පන්තිවල දරුවන් ගමේ සිට කිලෝමීටර් දෙකහමාරක් පමණ දුරින් පිහිටි මීගොල්ල මහා විද්‍යාලයට යා යුතුයි. ඔවුන් එම පාසලට යා යුතු වන්නේ පා ගමනෙන්. මේ පා ගමන් මාර්ග වැටී ඇත්තේ වල් අලියා නිතර සැරිසරන වනාන්තරය මැදිනුයි. මේ නිසා දරුවකුට තනිවම යෑමට නොහැකියි. අලියා ගැවසෙන කැලෑ ප්‍රදේශය නිමාවෙන ස්ථානය දක්වා එම දරුවා රැගෙන යෑමටත්, යළි රැගෙන ඒමටත් වැඩිහිටියකුට ගමන් කිරීමට සිදුව තිබෙනවා. මෙයට වසර ගණනකට පෙර හසලක නගරයේ සිට දුන්ගොල්ල ගම දක්වා හසලක ඩිපෝව මඟින් බස් රථයක් ධාවනය කළද ගමට ආසන්නයේ තිබෙන ජල මාර්ගයක් හරහා ඉදිකර ඇති පාලමේ අබලන් තත්ත්වය හේතුවෙන් එම බස් රථය නතර කර දැමීමට එම ඩිපෝවට සිදු වුණා.”

ප්‍රදේශවාසී වයි.එම්.යූ.ජී. සෙනෙවිරත්න මහතා දැක්වූයේ මෙවන් අදහසකි.

“ගමට බස් රථයක් ධාවනය නොවීම නිසා පමුණුපුර ගමේ සිට වනාන්තරය මැදින් ඉදිවී ඇති කිලෝමීටර් තුනක් පමණ වන මාර්ගයේ ගැමියන්ට පා ගමනින් ගමන් කිරීමට සිදුව තිබෙනවා. මේ වනගත මාර්ගයේ පස්වරු 5.00සිට පසු දින පෙරවරු 8.00 පමණ වනතුරු වල් අලියා ගැවසෙනවා. මේ හේතුවෙන් මෙම කාලය තුළ ගැමියකු හෝ දරුවකු රාත්‍රී කාලයේ දී හදිසියේ අසනීප වුවහොත් රෝහලක් කරා ගමන් කිරීම අතිදුෂ්කර වන අතර, එවැනි අවස්ථාවල දී ගැමියන් ගමේ අයකුගේ කුඩා අත් ට‍්‍රැක්ටරයක් හෝ ත්‍රිරෝද රථයක් රැගෙන රෝහල කරා යන්නේ හුළු අතු කිහිපයක් පත්තු කරගෙන කෑ කෝ ගසමිනුයි. ගමේ නිෂ්පාදන අලෙවි කර අත මිට සරු කර ගන්නට නම් පමුණුපුර ගමට හෝ කොළොංගොඩ නගරයට ඒවා රැගෙන යා යුතුයි. නමුත් එම නිෂ්පාදන නගරයට රැගෙන යෑමට ප්‍රවාහන පහසුකම් නොමැතිකම නිසා ඇතැම් ගොවීන් තම අස්වනු ගමට පැමිණෙන මුදලාලිට ඉල්ලන සොච්චම් මුදලකට දීමට සිදුව තිබෙන බව ගමේ අය කියනවා. මේ අවාසනාවන්ත කතාවට තිත තැබිය යුතුයි. මෙම ප්‍රවාහන ගැටලුව අපේ දෛනික කටයුතුවලට මෙන්ම ආර්ථිකයට ද, පාසල් දරුවාගේ පාසල් ගමනට සහ රැකියාවලට යන එන අයගේ කටයුතුවලටත් දැඩි සේ බලපා තිබෙනවා. මේ නිසා අබලන් තත්ත්වයේ පවතින පැන්නුම් පාලම ප්‍රතිසංස්කරණය කර පෙර මෙන් ගමට බස් රථයක් ධාවනය කිරීමට අවශ්‍ය කටයුතු කර දෙන මෙන් අප අදාළ අංශ වෙතින් ඉල්ලා සිටිනවා.”

හසලක සමූහ – ඊ.එම්.එස්. ඒකනායක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT