Home » මහවැලි එච් කලාපයේ ග්‍රාමීය වැව් රැසක් විනාශයේ දොර ළඟ

මහවැලි එච් කලාපයේ ග්‍රාමීය වැව් රැසක් විනාශයේ දොර ළඟ

by sachintha
September 26, 2024 2:11 am 0 comment

අනුරාධපුරයේ මහවැලි එච්. කලාපය තුළ පිහිටි වැව් අමුණු රැසක් ක්‍රමයෙන් අභාවයට යමින් ඇති බව ගොවි සංවිධාන නියෝජිතයෝ පවසති. ඉපැරණි රජ දවස බැඳි මෙම වැව් ගණනාවක අද වන විට විවිධ දුබලතා රැසක් මතුව ඇති බව ඔවුහු කියති. වැව් බැම්ම, සොරොව්ව, වාන ආදී වැවක අත්‍යවශ්‍ය අංග දුබල වී ඇති බවත්, රොන්මඩ එකතු වී ජපන් ජබර ආදී හිතකර නොවන ජලජ ශාක වැවීම හේතුවෙන් වැව් රැසක් ගොඩවී ජල පෝෂක ප්‍රදේශ ඇහැරී ඇති බවත් ගොවි සංවිධාන නියෝජිතයෝ පෙන්වා දෙති.

මෙම වැව් සමහරක තාවලු අස්වද්දවා තාවකාලික හා ස්ථිර ඉදිකිරීම් කර ඇති බවත්, සමස්තයක් ලෙස එච්. කලාපයේ හඳුනාගත් මධ්‍යම හා කුඩා ප්‍රමාණයේ වැව් ගණනාවක තාවලු අස්වද්දවා විවිධ වගා හා ඉදිකිරීම් සිදුකොට ඇති බවත් පවසන ගොවීහු, මෙම වැව් තවදුරටත් දැනට පවතින තත්ත්වයෙන්ම පැවතියහොත් සම්පූර්ණයෙන්ම විනාශ විය හැකි බව ද සඳහන් කරති. ගොවි සංවිධාන නියෝජිතයන් පවසන අන්දමට මහවැලි එච්. කලාපයේ වැඩිම වැව් තාවලු ප්‍රමාණයක් අස්වද්දවා විවිධ වගා හා ඉදිකිරීම් සිදුකොට ඇත්තේ තඹුත්තේගම හා මහඉලුප්පල්ලම කොට්ඨාසවලයි. මහවැලි අධිකාරියේ වාර්තා අනුව එච්. කලාපය තුළ පිහිටි කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ වැව් ගණන 125කි. වැඩිම වැව් ගණන නොච්චියාගම කොට්ඨාසයේ පිහිටා ඇත. එහි ඇති වැව් ගණන 26කි. පිළිවෙළින් එප්පාවල කොට්ඨාසයේ වැව් 24ක් ද, තඹුත්තේගම කොට්ඨාසයේ වැව් 23ක් ද, මහඉලුප්පල්ලම කොට්ඨාසයේ වැව් 20ක් ද, තලාව කොට්ඨාසයේ වැව් 18ක් ද, ගල්නෑව කොට්ඨාසයේ වැව් 8ක් ද, මීගලෑව කොට්ඨාසයේ වැව් 6ක් ද ඇති බව සඳහන් වේ. මීගලෑව, පදවිගම ගම්මානයේ පළපුරුදු ගොවියකු වන සී.පී. ප්‍රේමදාස මහතා මේ සම්බන්ධයෙන් පැවසුවේ මෙවැනි අදහසකි.

“මේ ගොඩක් වැව් රජකාලේ ඉඳන් තිබ්බ වැව්. මහවැලි වතුර දෙන්න ගත්තට පස්සේ මේ වැව් ගැන තිබ්බ අවධානය නැතිව ගියා. ඒක තමයි සිද්ධ වෙච්ච ලොකුම විනාසේ. මේ හැම වැවක්ම වගේ යෝධ ඇළේ වතුරෙන් පෝෂණය වෙච්ච වැව්. දැන් වෙලා තියෙන්නේ අලුත් ජයගඟ කැපුවට පස්සේ යෝධ ඇළ ගැන තිබ්බ සැලකිල්ල නැතිව ගියා. ඒකෙන් වුණේ යෝධ ඇළෙන් පෝෂණය වෙච්ච වැව් ටිකත් එහෙම්මම ගොඩවෙන්න ගත්ත එක. වැවක් කියන්නේ මුළු ගමටම සම්පතක්. ඒක අපිට තේරුණාට සමහර නිලධාරීන්ට නොතේරෙන එක තමයි අවාසනාව.”

1976 වර්ෂයේ දී මහවැලි එච්. කලාපය තුළ ඉඩම් සංවර්ධන ආඥා පනත මඟින් ලබා දී ඇති හෙක්ටයාර් 20,205ක වාරි ඉඩම් ප්‍රමාණය අද වන විට හෙක්ටයාර් 25,363ක් දක්වා ඉහළට පැමිණ ඇත. එය ආසන්න වශයෙන් අක්කර 63,497කි. එවක 30,184ක් වූ ප්‍රතිලාභී ගොවි පවුල් ගණන අද වන විට පවුල් 39,145ක් දක්වා වැඩි වර්ධනය වී තිබේ. ඇදගල ප්‍රදේශයේ පළපුරුදු ගොවියකු වන ඩබ්.එච්. සුනිල් මහතා ඒ පිළිබඳව මෙලෙස අදහස් දැක්වීය.

“දැන් වෙනකොට පරම්පරා කීපයක් මහවැලියේ ජීවත් වෙනවා. ගමේ වැව හොඳට තිබ්බොත් ධීවර රස්සාව කරන කීපදෙනකුට හරි ජීවත්වෙන්න අවස්ථාව හැදෙනවා. දැන් ඒ කිසිදෙයක් නෑ. දැන් මඩ පිරිලා සම්පූර්ණයෙන් වැව් ගොඩවෙලා තියෙන්නේ. අපි සත්තුන්ට පවා වතුර බොන්න වැව් හදපු ජාතියක්. අද වෙනකොට ගම්මැදිවල ගොඩක් වැව් රොන්මඩ පිරිලා ගොඩවෙලා තියෙන්නේ. ඇත්තටම මේ වැව් හදනවා කියලා කෙරුවේ සම්පූර්ණ බොරුවක්. අද හදන වැව තව අවුරුද්දකින් හමාරකින් ආයේ හදන්න වෙන පිළිවෙළට තමයි ඒ අය වැව් හදන්නේ. ඉතින් කාටද කියන්නේ. කවුරුහරි අවංකව ඒ වැඩේ කරනවා නම් ඒක ඒ අයගේ දරුවන්ටත් පලදෙන පිනක්.”

මහවැලි එච්. කලාපයේ වගා කන්නයක් ක්‍රියාත්මක කිරීම සඳහා අක්කර 254,810ක ජල ප්‍රමාණයක් අවශ්‍ය බව මහවැලිය පවසයි. පූර්ණ ලෙසම මෙම ජල අවශ්‍යතාව කලාවැව මඟින් සපුරාලිය නොහැකි බැවින් ග්‍රාමීයව ඇති වැව් ප්‍රතිසංස්කරණය කරදීම කාලීන අවශ්‍යතාවක් වී ඇති බව ගොවි සංවිධාන නියෝජිතයෝ පෙන්වා දෙති.

තඹුත්තේගම විශේෂ – ඩබ්. ප්‍රදීප්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT