Home » මාතලේ මායිම් ගම්මානවල වනඅලි උවදුරට පේන මානෙක විසඳුමක් නෑ

මාතලේ මායිම් ගම්මානවල වනඅලි උවදුරට පේන මානෙක විසඳුමක් නෑ

- පවුල් සිය ගණනක් අනතුරේ

by sachintha
September 26, 2024 1:59 am 0 comment

මුළු ජීවිත කාලයම වනඅලි උවදුරුවලට මුහුණ පා දැඩි දුෂ්කරතාවන් මැද දිවිගෙවන මාතලේ දිස්ත්‍රික්කයේ මායිම් ගම්මාන තිහකට අධික සංඛ්‍යාවක වෙසෙන පවුල් සිය ගණනකට මෙතෙක් කිසිදු විසඳුමක් ඒ සඳහා නොලැබී ඇති බැවින් ඒ කෙරෙහි නව රජයේ අවධානය යොමුවිය යුතු බව මායිම් ගම්මාන වැසියෝ පවසති.

මෙම තත්ත්වය නිසා මේ වන විට මිනිස් ජීවිත ගණනාවක් වනඅලින්ට ගොදුරු වී ඇති අතර මොවුන් සන්තකයේ තිබූ රුපියල් ලක්ෂ ගණනක් වටිනා දේපොළ පවා මෙම වනඅලින් විසින් විනාශ කර ඇති බව පවසන මෙම ගම්වාසීහු, මේ සම්බන්ධයෙන් වනජීවී අංශ වෙත දැන්වුවත් මෙතෙක් එයින් කිසිදු පලක්වී නැතැයි පෙන්වා දෙති. තවද, පොලොන්නරුව වනජීවී අධ්‍යක්ෂ කාර්යාලයෙන් මේ පිළිබඳ විමසූ විට එහි උසස් නිලධාරියකු පැවසුවේ, මෙම වසරේ මේ දක්වා වනඅලි පහරදීම්වලින් මිනිසුන් 39දෙනකු මියගොස් ඇති බවයි. මෙම මායිම් ගම්මාන ආශ්‍රිතව පිහිටා ඇති සීගිරිය, වස්ගමුව, කහල්ල – පල්ලේකැලේ සහ කලාවැව රක්ෂිතයේ සිට එන වනඅලින් රංචු පිටින් මෙන්ම තනි තනිව ද මෙම ගම්මානවලට කඩාවදින බව ඔවුහු පවසති. මෙම වනඅලි උවදුරු මැඬලීම සඳහා තැනින් තැන වනජීවී ඒකක ආරම්භ කර ඇති අතර, මෙම ස්ථානවල සේවය සඳහා යොදවා ඇති සේවකයන් පවසන්නේ තමන්ට ප්‍රමාණවත් පහසුකම් මෙතෙක් රජය විසින් ලබා දී නොමැති බැවින් වනඅලි පලවා හැරීමේ කාර්ය කළ නොහැකි බවයි. තවද මෙම වනඅලි උවදුරුවලට නිරන්තරයෙන් ගොදුරුවන ගම්මාන රැකගැනීම සඳහා වනජීවී දෙපාර්තමේන්තුව විසින් ආරක්ෂිත විදුලි වැට ඉදිකර ඇතත්, එය නිසිලෙස නඩත්තු නොකිරීම නිසා වනඅලින් ගම් වදින බව පෙන්වාදෙන ගම්වාසීහු, දිගුකලක් තිස්සේ පවතින මෙම වනඅලි උවදුරු මර්දනය කිරීම සඳහා වර්තමාන රජයේ ඍජු අවධානය යොමුවිය යුතු බව ද අවධාරණය කරති.

 

මාතලේ දිස්ත්‍රික් සමූහ – ඒ.ඒ.එල්. ඩයස්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT