Home » උසස් පෙළ සිසුවියක් හෝටලයකට ගෙන ගියැයි කියන විදුහල්පතිට නීතිය ක්‍රියාත්මක කරන්නැයි උද්ඝෝෂණ

උසස් පෙළ සිසුවියක් හෝටලයකට ගෙන ගියැයි කියන විදුහල්පතිට නීතිය ක්‍රියාත්මක කරන්නැයි උද්ඝෝෂණ

by sachintha
September 26, 2024 2:14 am 0 comment

උසස් පෙළ සිසුවිය හෝටල් කාමරයට රැගෙන ගිය දිප්පිටිය නගරයේ ප්‍රසිද්ධ පාසලක විදුහල්පතිවරයකුට නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටිමින් එම පාසලේ මවුපියවරු පිරිසක් ඊයේ 25 උදෑසන එම පාසල ඉදිරිපිටදි සාමකාමි උද්ඝෝෂණයක නිරත වූහ.

මෙම සිදුවීම හෙළිදරව් වීමෙන් පසුව සැකකාර විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණේ පසුගිය 19 වැනි දිනයි. එහිදි විදුහල්පතිවරයා වැඩි දුර පරීක්ෂණ සිදු නොකර නිදහස් කර ඇති බව මවුපියෝ චෝදනා කරති. තිදරු පියෙකු වන මෙම විදුහල්පතිවරයාට වයස අවුරුදු 42කි.

මෙම සැකකාර විදුහල්පතිවරයා විසින් සිසුවියට ප්‍රශ්න පත්‍රයකට පිළිතුරු කියා දෙන බව පවසමින් මෙලෙස සිසුවිය රවටා හෝටලයකට රැගෙන ගිය බව උද්ඝෝෂණයට එක් වූ පිරිස් කිය සිටියහ.

මේ වන විටත් පාසලේ සේවයට පැමිණෙන සැකකාර විදුහල්පතිවරයා වෙනුවෙන් පාසලේ තවත් ගුරුවරුන් පිරිසක් සහයෝගය දක්වමින් පාසලේ තව දුරටත් ඔහුව තබා ගැනීම කටයුතු කරන බව උද්ඝෝෂණයේ නිරත පිරිස් චෝදනා කරති.

මේ නිසා දරුවන්ට අනාරක්ෂිත බවක් ගෙන දෙන හෙයින් ඔහුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කර අධ්‍යාපන බලධාරීන්ගේ අවධානය ඒ වෙත යොමු කර සාධාරණ විසඳුමක් ලබා දෙන ලෙස උද්ඝෝෂණයේ නිරත මවුපියවරු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

උද්ඝෝෂණය පැවැත්වෙන අතරවාරයේ අරණායක පොලිසියේ නිලධාරීන් එම ස්ථානයට එක්ව සිටි අතර පැය කිහිපයක් උද්ඝෝෂණය පවත්වන ලදි.

උද්ඝෝෂණයට එක් වූ ප්‍රදීප් චමින්ද තුසිත කුමාර මෙසේ පැවැසීය.

මේ පාසලේ දරුවකු මුළාවට ලක් කරලා ප්‍රශ්න පත්‍රයක් කියලා දෙන්න කියලා මේ කියන විදුහල්පතිවරයා දරුවා හෝටලයකට රැගෙන ගිහින් තියෙනවා. එහිදි සැක හිතුණු දැරිය එතනින් පලා ඇවිත් තිබුණා. දැරිය තම මාපියන්ට මේ බව කීවාට පස්සේ කෑගල්ල පොලිසියට පැමිණිලි කිරීමක් සිදු කළා. පසුගිය 18 වැනිදා මේ සිදු වීම වුණාට පස්සේ මේ ගුරුවරයා උස්සාපිටියේ විහාරස්ථානයක සැඟවී සිට කෑගල්ල පොලිසියට භාර වෙනවා. පත්තරයේ නිවුස් එකක් යනවා 19 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරනවා කියලා. නමුත් 19 වැනිදා මේ පුද්ගලයා පාසලේ වැඩ.

මේ ස්ත්‍රී දූෂකයෙක්. සාමාන්‍යයෙන් අපි වාගේ පුද්ගලයෙකුට නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නයි මොහුට නීතිය ක්‍රීයාත්මක නොවී නිදැල්ලේ ඉන්නත් යළි මේ පාසලේම සේවය කරන්නත් කොහොමද ඉඩ ලැබුණේ.

මේ විරෝධතාවය දක්වන සියලු දෙමාපියන්ගේ දරුවන් මේ පාසලේ ඉගෙනුම ලබනවා. 2000කට වඩා වැඩි දරුවන් පිරිසක් ඉගෙනුම ලබන මේ පාසලේ දරුවන් තව දුරටත් ආරක්ෂා කරන්න කියා අපි ඉල්ලා සිටින්නේ මොහු මේ පාසලෙන් ඉවත් කර දෙන ලෙසයි.

ඒ වාගේම මේ විදුහල්පතිවරයාට ගොනු වෙච්ච ටීම් එකක් ඉන්නවා. ඒ ටීම් එක තමයි මේ සියලු දේවල් කරන්නේ.

දුල්දෙනිය ඉනෝකා දිල්රුක්ෂි මහත්මිය උද්ඝෝෂණය අතරවාරයේ අදහස් දක්වමින් මෙසේ පවසයි.

මාගේ දරුවා පාසලේ නවය වසර ඉගෙනුම ලබනවා. පාසලේ ගොඩාක් ගැහැනු දරුවන් “තුල්” කියන මත්ද්‍රව්‍ය භාවිත කරනවා. මාගේ දුවගේ පන්තියේ ළමයෙක් තුල් ගෙනත් එය භාවිත කරලා අපේ දරුවාටත් ගන්න කියපු වේලාවේ එයා ඒක ප්‍රතික්ෂේප කරලා මට කිව්වා. මම මේ කියන විදුහල්පතිවරයා දැනුවත් කළත් ඒ දරුවාට ආය ඕක කරන්න එපා කිව්වා කියලා. එහෙම කියලා එතනින් ඒක අවසන් කළත් මේ විදුහල්පතිවරයාට හෝ නියෝජ්‍ය විදුහල්පති හාමුදුරුවන්ට මේ මත්ද්‍රව්‍ය භාවිතයෙන් දරුවන් වළක්වා ගන්න කිසිම වුවමනාවක් නැහැ. එමෙන්ම මෙම උද්ඝෝෂණයට එක් වූ මවුපියන් විදුහල්පතිවරයා 1 වසරට දරුවන් භාර ගන්නා විට මවුපියන්ගෙන් මුදල් ගන්නා බව පවසන අතර ඔහු එම මුදල් පාසලේ මුරකරු අතට දෙන්න කියලා ඒ ජාවාරම සිදු කරනවා. පාසලේ සේවය කරන භික්ෂුන් වහන්සේලා පිරිසද විවිධ වැරදි ක්‍රියාවලට සම්බන්ධ හා පෙර වැරදි කිහිපයක් ඇති හෙයින් ඔවුන් ද ඉවත් කර පාසල පිරිසිදු කර දීමට වගකිව යුතු බලධාරීන්ගේ අවදානය මේ වෙත යොමු විය යුතු බව මවුපියෝ කියති.

හෙම්මාතගම – සමන් විජය බණ්ඩාර, කෑගල්ල විශේෂ – චමින්ද බණ්ඩාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT