මෙරට රජයේ විශ්වවිද්‍යාලවල සිදුවන නවකවධ සිද්ධීන් පිටුදැකීම සඳහා වන මාර්ගෝපදේශ මාලාවක් සකස් කර ඇති බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ (25) දැනුම් දුන්නේය. මෙරට රජයේ විශ්වවිද්‍යාලවල සිදුවන නවකවද සිද්ධීන් පිටුදැකීම සඳහා වන මාර්ගෝපදේශ මාලාවක් සකස් කර ඇති බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ (25) දැනුම් දුන්නේය.
ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේදී විශාල බැකෝ ටයරයක් සිරුරට පෙරළා දුන් නවකවද සිද්ධියකින් ආබාධයට ලක්වූ පසිඳු හර්ෂණ සිල්වා නමැති සිසුවකු විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ආචාර්ය අවන්ති පෙරේරා මහත්මිය මේ බව දන්වා සිටියාය.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය, ශිරාන් ගුණරත්න සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ මෙම පෙත්සම් කැඳවනු ලැබිණි.
විශ්වවිද්‍යාලවල නවක සිසුන්ට මුහුණදීමට සිදු වන නවකවද සිද්ධීන් වැළැක්වීම සඳහා මාර්ගෝපදේශ මාලාවක් සකස් කළ බව එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ආචාර්ය අවන්ති පෙරේරා මහත්මිය සඳහන් කළාය.
එම මාර්ගෝපදේශ මාලාව සියලු විශ්වවිද්‍යාල වෙත යොමුකර ඒ සම්බන්ධයෙන් ඔවුන්ගේ යෝජනා තිබේ නම් ඒවා ද සැලකිල්ලට ගෙන අවශ්‍ය සංශෝධන සිදු කර අවසන් කෙටුම්පත සකස් කරන ලෙස මෙහිදී අගවිනිසුරුවරයා උපදෙස් ලබා දුන්නේය.
එසේ සකස් කරන අවසන් කෙටුම්පත අධිකරණය හමුවේ ගොනු කිරීමට පියවර ගන්නා ලෙස එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරියට නියම කරන ලදි. 2020 වසරේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නවකවද සිද්ධියකින් පීඩාවට පත් පසිඳු හර්ෂණ සිල්වා නමැති සිසුවකු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබිණි.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සහ එහි උපකුලපතිවරයා, කොළඹ, කැලණිය ඇතුළු විශ්වවිද්‍යාල දහසයක්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සහ උසස් අධ්‍යාපන ඇමැතිවරයා, පොලිස්පතිවරයා, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට 2020 වසරේදී ඇතුළුවූ නවක සිසුවකුට ටයරයක් පෙරළීම නිසා තම හිසට සහ මොළයට බරපතළ තුවාල සිදුවූ බව පවසමින් මෙම පෙත්සම ගොනුකර තිබිණි.
මෙම සිද්ධිය නිසා මාස තුනකට ආසන්න කාලයක් රෝහල්ගතව ප්‍රතිකාර ලැබූව ද මේ වනතෙක්ම තමන්ට මේ පූර්ණ සුවය ලැබී නැති බවත් පෙත්සම්කාර ශිෂ්‍යයා පෙත්සමෙහි සඳහන් කර ඇත. විශ්වවිද්‍යාල පද්ධතිය තුළ අනාගතයේදී මෙවැනි අවාසනාවන්ත සිදුවීම් ඇති වීම වැළැක්වීම සඳහා මාර්ගෝපදේශ මාලාවක් සකස් කර ගැනීමේ නියෝගයක් සකස් කරන ලෙස බලධාරීන්ට නියම කරන ලෙස පෙත්සම මඟින් ඉල්ලා ඇත. ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටියේය.
නෙල්කා මැදගෙදර