Home » තඹුත්තේගමින් ජනපති පුටුවට ආ අනුරගේ ගමට ගියෙමු

තඹුත්තේගමින් ජනපති පුටුවට ආ අනුරගේ ගමට ගියෙමු

by sachintha
September 26, 2024 2:29 am 0 comment

තඹුත්තේගම නගරයට යාව පිහිටි නල්ලච්චිය ගම්මැද්දට පියමං වන ගුරු පාර පිවිසුමෙහි ඇති පුවරුවක සිත්තම් කොට තිබුණේ “අපේ ගමේ අපේ එකෙක් ජනපති” යනුවෙනි. වෙල්දෙණි, වැව් අමුණු, ගුරු පාර හා බැඳුණු ජීවන යථාර්ථය පිළිබඳ සැබෑ අවබෝධයෙන් යුතු මිනිසකු පිළිබඳව වූ ගැඹුරු විශ්වාසය එමඟින් සනාථ කරයි. ඉකුත් ජනාධිපතිවරණය දක්වා දියත් වූ නිර්ව්‍යාජ වැඩපිළිවෙළ යථාර්ථයක් බවට පත්කිරීමේ අවස්ථාව දැන් අනුර කුමාර දිසනායක මහතාට හිමි වී තිබේ. මෙරට ඈත ගම්මැදිවල ජනීජනයා පනස් හත් ලක්ෂයකට වැඩි පිරිසක් ඒ සඳහා අනුමැතිය පළකොට තිබේ. ඉනික්බිතිව මිලියන 22ක ජනයා ඒ කෙරෙහි දෑස් දල්වා බලා සිටිති. මේ වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ජීවන පෙවෙත පිළිබඳව සොයා ගිය ගමනක සටහනයි.

අනුරාධපුර, මාතලේ දිස්ත්‍රික් දෙමායිමේ පිහිටි ගලේවෙල, දේවහූව ප්‍රදේශයේ දී 1968 නොවැම්බර් මස 24 වැනිදා අනුර කුමාර දිසානායක මහතා ජන්මය ලැබීය. ඒ දිසානායක මුදියන්සේලාගේ රන්බණ්ඩා සහ දිසානායක මුදියන්සේලාගේ සීලවතී යුවළට දාවය. කලක් අනුරාධපුරයේ කලාවැවට යාබඳ පලාගල ප්‍රදේශයේ ළමා දිවියේ මුල් වසර කිහිපය ගතකොට ඇති අනුර, සුප්‍රකට තඹුත්තේගම, නල්ලච්චිය ගම්මැද්දට පැමිණ ඇත්තේ ඉන් අනතුරුවය.

දිසානායක පවුලේ දෙවැනියා වූ අනුරට එක් සහෝදරියක් පමණක් සිටියි. ඇය ශ්‍රියාලතා දිසානායකය. අනුරගේ ළමා දිවිය ගතවූ නල්ලච්චිය ගම්මැද්දේ මහ ගෙදර අද සිටිනුයේ ඇය ය. අසූ විය ද ඉක්මවා දිවියේ සැදෑ සමයට පිවිස සිටින මව ද ඇය සමඟ ජීවත් වන්නීය. අනුර කුමාර දිසානායක මහතා කලකට මත්තෙන් සිය මව හා එක්ව ගත් සේයාරුවක් නි‍ෙවසේ ආලින්දයේ අදටත් දිස්වෙයි. විවිධ ජීවන දුෂ්කරතා මැද ගෙවී ගිය ඔවුනගේ ළමා දිවිය පිළිබඳව අද ඇයට ඇත්තේ උපේක්ෂාසහගත හැඟීමකි. ඉතා සරල බවින් ඔපවැටුණු ඔවුනගේ ජීවන පෙවෙත නිර්ව්‍යාජ බව විද්‍යමාන වන කැඩපතක් බඳුය. රටක වගකීම් දෙවුර දැරුව ද අදත් ඇයට ඔහු ආදරණීය මල්ලීමය. මේ වෙල් සුළඟට මුසු වූ අතීත ජීවිත මතකයන් පිළිබඳව “ශ්‍රියාලතා දිසානායක” මහත්මිය මෙසේ පවසන්නීය.

“මල්ලී පොඩි කාලේ ඉඳන් ඉගෙන ගන්න හරිම දක්ෂයි. එයා පීනන්නත් හරි දක්ෂයි. ඒ කාලේ යාළුවෝ කට්ටිය එක්ක එකතු වෙලා ඔය නල්ලච්චිය වැවට නාන්න යනවා. කොළඹ ඉඳලා මහ ගෙදරට ආපු සමහර දවස්වල වැවේ නාන්න ගිහින් තියෙනවා. මල්ලී පොඩි කාලේ අපේ මේ වත්තේ තිබුණ, පොඩි ගේ ඉස්සරහ අරලිය ගහක් තිබ්බා. ඉස්කෝලේ ඇරිලා ඇවිල්ලා මට මතකයි ඔය අරලිය ගහට නැඟලා පොත් පාඩම් කරනවා. එයාට තිබ්බ තව පුරුද්දක් තමයි කෑම කන ගමන් මේසේ උඩ තියාගෙන පොතක් හරි පත්තර කෑල්ලක් හරි කියවන එක. හරියට දුක් විඳලා එයාගේ උත්සාහයෙන් තමයි අද ඔය ඉන්න තත්ත්වෙට මල්ලී ආවේ. ඒ ගැන ඉතින් කියාගන්න බැරි තරම් සතුටුයි.”

අනුර දිසානායක දරුවා එකල මූලික අධ්‍යාපනය සඳහා ඇතුළත්ව ඇත්තේ තඹුත්තේගම ගාමිණී විද්‍යාලය හෙවත් වර්තමානයේ හඳුන්වන තඹුත්තේගම ප්‍රාථමික විද්‍යාලයටය. ගාමිණී විද්‍යාලයේ දී සාමාන්‍ය පෙළ විභාගය ඉහළින් සමත්වන අනුර කුමාර සිසුවා උසස් පෙළ හැදෑරීම සඳහා ඇතුළත් වන්නේ, තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලයටය. එම විද්‍යාලයේ මුල්ම උසස් පෙළ ශිෂ්‍ය කණ්ඩායම වන්නේ ද අනුර ඇතුළු ශිෂ්‍ය පිරිවරය. එහිදී ගණිත අංශයෙන් උසස් පෙළ සමත්වන ඔහු කැලණිය විශ්වවිද්‍යාලයට පා තබනුයේ 1992 වසරේදීය. අනුර කුමාර දිසානායක තරුණයා සිය උසස් අධ්‍යාපනය අහවරව 1995 වසරේ දී විශ්වවිද්‍යාලයෙන් නික්ම යනුයේ විද්‍යාවේදී උපාධිධරයකු ලෙසිනි.

අනුර, ගාමිණී විද්‍යාලයට ගිය අවධියෙහි එහි විද්‍යා ගුරුවරයකු වූ “ජී.එම්. අමරසූරිය” මහතා තඹුත්තේගම ගම්මැද්දට වී විශ්‍රාමිකව අද දවස ගෙවන්නේය. ඔහු අතීතය සිහිපත් කළේ මෙපරිද්දෙනි.

“1984 අවුරුද්දේ තමයි තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලය ආරම්භ කෙරුවේ. ඒ වෙනකම් දැන් ඔය ගාමිණී විද්‍යාලය විදිහට තියෙන ගාමිණී විද්‍යාලයේ තමයි ඒ කාලේ සාමාන්‍ය පෙළ වෙනකන් පන්ති තිබ්බේ. මට අනුරව මුලින්ම මුණ ගැහුණේ එයා හයේ පන්තියේ ඉගෙන ගන්නකොට.

ඇත්තටම අනුරලා තමයි, ගාමිණී විද්‍යාලෙන් අවසානෙට සාමාන්‍ය පෙළ විභාගය ලියපු ළමයි කට්ටිය. ඒගොල්ලෝ තමයි තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලයේ මුලින්ම උසස් පෙළ පටන් ගන්නකොට හිටපු ළමයි කට්ටිය. ඒ අයගෙන් දෙන්නෙක් තමයි මුලින්ම විශ්වවිද්‍යාලෙට ගියේ. එක්කෙනෙක් අනුර. ඒ කාලේ ඉඳන්ම අනුර ඉගෙන ගන්න හරිම දක්ෂයි. නිකම් ඉන්නෙම නෑ. නිතරම ප්‍රශ්න කරනවා. තර්ක කරනවා. ගණිත අංශයෙන් තඹුත්තේගම ඉස්කෝලෙන් විශ්වවිද්‍යාලයට ගිය පළවැනි දරුවා තමයි අනුර. මං උගන්වපු දරුවෙක් අද මේ තත්ත්වේ ඉන්න එක ගැන මට තියෙන්නේ ලොකු සතුටක්.”

මෙවර ජනපතිවරණ සටනත් සමඟ අන් කවරදාටත් වඩා අනුර මේ කලාපයේ තරුණ උන්මාදයක් බවට පත්විය. ඔවුහු අන් කවරකු හෝ කෙරෙහි නොවූ විස්වාසයකින් ඔහු වටා රොද බැඳ තිබූ තත්ත්වයක් දක්නට ලැබුණි. නල්ලච්චියේ “නිලන්ත කුමාර” ඒ පිළිබඳ වූ සිය සිතැඟි පැවසුවේ මේ අන්දමිනි.

“එක එක පක්ෂවලට පාරම්පරිකව ඡන්දේ දුන්නු පවුල්වල තරුණ උදවිය මේ පාර තනිවම තීරණයක් අරගෙන මාලිමාවට ඡන්දේ දුන්නා. එක පැත්තකින් අනුර මහත්තයා ගැන, අපේ ගමේ මිනිහෙක් කියන හැඟීම අපට තිබුණා. අනිත් පැත්තෙන් කියන දේ කරයි කියන විශ්වාසෙත් තිබ්බා. ඡන්දේ කාලෙට විතරක් හිනාවෙන මුහුණු දැකලා මිනිස්සුන්ට ඇතිවෙලයි තිබුණේ. ඡන්දෙන් පස්සේ අඩුම තරමින් වචන හුවමාරුවක්වත් මේ පාර සිද්ධ වුණේ නෑ. ඒ කාලේ ඡන්දයක් ඉවර වෙනකොට මිනිස්සු පුදුම බයකින් ඉන්නේ. ඒත්, මේ පාර හැමදේම වෙනස් වුණා.”

අනුර කුමාර දිසානායක මහතාගේ විසිහතර වසරක පාර්ලිමේන්තු දිවිය ඇරඹෙනුයේ 2000 වසරේදී පළමුවරට ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුවට පත්වීමත් සමඟයි. 2001 වසරේදී එවක ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ ඇති කළ පරිවාස ආණ්ඩුව බිහි කිරීමට ඔහු දායකත්වය දුන්නේය. අනුර යළි 2004 වසරේදී කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී වූයේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාවක් ද ලබා ගනිමිනි. 2004 වසරේ දී පිහිටුවන ලද එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවේ කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග හා පශු සම්පත් අමාත්‍ය ධුරයේ කටයුතු කළ අනුර කුමාර දිසානායක මහතා අමාත්‍යවරයකු ලෙස පූර්වාදර්ශි මෙහෙවරක නියැළුණේය.

2008 වසරේදී අනුර, ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ නායකයා ලෙස තේරී පත්විය. අනතුරුව 2010 වසරේ පැවති මහ මැතිවරණයෙන් ජාතික ලැයිස්තුවෙන් නැවතත් ඔහු පාර්ලිමේන්තු පැමිණියේය. 2014 වසරේ පෙබරවාරි මස දෙවැනිදා පවත්වන ලද ජනතා විමුක්ති පෙරමුණේ 7 වැනි ජාතික සම්මේලනයේදී ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායක මහතා නායකත්වයට ඔහුගේ දේශපාලන දිවියෙහි පැහැදිලි කඩඉමක් සනිටුහන් කරමිනි. 2015 වසරේ සිට පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස කටයුතු කළ ඔහු 2015 අගෝස්තු මහ මැතිවරණයෙන් ද කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් නැවතත් පාර්ලිමේන්තුවට තේරී පත්විය.

2019 වසරේ අගෝස්තුවේදී ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන හා දේශපාලන ක්‍රියාකාරීන් ගණනාවක් එක්කර ගනිමින් ජාතික ජන බලවේගය නම් නව දේශපාලන ව්‍යාපාරයකට මුලපුරනු ලැබීය. 2019 ජනාධිපතිවරණයට ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 418,553 කට හිමිකම් කියනුයේ සියයට 3.16 %ක ඡන්ද ප්‍රතිශතයක් ලබමිනි. අනතුරුව 2021 වසරේ දෙසැම්බර් 20 වැනිදා පැවැත්වූ ජාතික ජන බලවේගයේ පළමු ජාතික සමුළුවේදී එහි නායකත්වයට පත්විය.

එතැන් සිට ඉකුත් ජනාධිපතිවරණය දක්වා දියත් වූ නිර්ව්‍යාජ වැඩපිළිවෙළ යථාර්ථයක් බවට පත්කිරීමේ අවස්ථාව දැන් අනුර කුමාර දිසනායක මහතාට හිමි වී තිබේ. මෙරට ඈත ගම්මැදිවල ජනීජනයා පනස් හත් ලක්ෂයකට වැඩි පිරිසක් ඒ සඳහා අනුමැතිය පළකොට තිබේ. ඉනික්බිතිව මිලියන 22ක ජනයා ඒ කෙරෙහි දෑස් දල්වා බලා සිටිති. නල්ලච්විය ගම්මැද්දේ “රෝහණ කුමාර” පැවසුවේ නුවර කලාවියෙන් රජ ගෙදරට ගිය අනුර කෙරෙහි ඇති ඒ මාහැගී හැඟීම පිළිබඳවය.

“සහෝදරයා කියලා කට පුරා කතා කරන්න පුළුවන් මනුස්සයෙක් රටේ ජනාධිපති වෙලා තියෙනවා. මේ ගම්වල දුක් විදින මිනිස්සු ගැන අවංකව බලන කෙනෙක් මෙතුවක් හිටියේ නෑ කියන එක බොරුවක් නෙමෙයි. මේ ගම්වල ඉඳලා ගිහින් ඇමැතිකම් ගත්ත අයත්, අවසානේදී ඡන්ද දුන් මිනිස්සුන්ව අමතක කරලා ඒ ගොල්ලෝ හම්බ කර ගත්තා. දැන් හැමදේම වෙනස් වෙයි. මට හිතෙන්නේ අපි කාටවත් විවේක ගන්න කාලයක් නෑ. දැන් තියෙන්නේ වැඩට බහින්නයි.”


තඹුත්තේගම විශේෂ 

ඩබිලිව්. ප්‍රදීප්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT