Home » වැන්දඹු, දෘහිතෘ සහලක්ෂණයට එන්නතක්

වැන්දඹු, දෘහිතෘ සහලක්ෂණයට එන්නතක්

by sachintha
September 26, 2024 1:00 am 0 comment

අගමැති බණ්ඩාරනායක ඝාතනය වන්නේ 1959 වසරේ අද වැනි දිනකය. වසර හැට පහකට පෙර සිදු වූ මෙම ඝාතනය තවත් උපතක් සඳහා පාර කපන ලද්දේය. නවීන ලෝකයේ ආණ්ඩුවක ප්‍රධානියා වූ ප්‍රථම කත ලෙස 1960 ජූලි මාසයේ සිරිමාවෝ බණ්ඩාරනායක දිවුරුම් දෙන්නේ, එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායකගේ ඝාතනයෙන් පසු ශ්‍රීලනිප නායකත්වයට, ඇය පත්වීම නිසාය. මේ තීරුවේ අද මාතෘකාව සඳහා භාජනය වන්නේ ආචාර්ය හරිනි අමරසූරියගේ අගමැති පත්වීමය. එය මෙතෙක් කලක් දකුණු ආසියාවේ කාන්තා නියෝජනයේ තිබූ ඌනතා පරදවන ලද්දක් හෙයින් එම සුවිශේෂභාවය මේ තීරුවේ ඇගයීමට භාජනය කරමින් ඉදිරිය බලා යෑම අපගේ අපේක්ෂාවය.

‘තොටිල්ල පදවන අත ලොව පාලනය කරයි’ යන්න ගැහැනු අත්තේ තැබීම සඳහා ඇති කියමනකි. ලොව පාලනය නොව රට පාලනයටවත් කාන්තාවෝ එහෙමට එන්නේ නැත. මේ සමය වනාහි කාන්තා දේශපාලන නියෝජනය යම් තාක් දුරකට බලවත් වූ කාලයක් වුවද මෙවර ජනාධිපතිවරණය සඳහා කාන්තාවක් ඉදිරිපත් නොවීම ද ශ්‍රී ලාංකේය දේශපාලනයේ, ස්ත්‍රී සහභාගිත්වයේ අඩු බරක් පෙන්නුම් කළේය.

සීමිත ඡන්ද බලය හිමිව තිබූ කාලයේ පටන් මේ රටේ දේශපාලන නායකයෝ සර්වජන ඡන්දය සඳහා සටනට බැස්සෝය. ඔවුහු අන් සමාජයක මෙන් නොව, ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව ඡන්ද බලය ඉල්ලා සටන් කළහ.

ඡන්ද බලය සඳහා වූ මෙම අරගලයේදී කාන්තාවෝ ද එයට පණ පෙවූහ. සර්ව ඡන්දය පදනම් කරගෙන පැවැත්වූ පළමු මැතිවරණයට කාන්තාවෝ තිදෙනෙක් තරග කළහ. ඇඩ්ලින් මොලමුරේ සිංහල වැඩවසම් රදල පවුලකින් පැවැත ආ කතකි. පියාගේ ඇවෑමෙන් පසු පැවැත්වූ අතුරු මැතිවරණයෙන් ඈ ජය ගත්තාය. තේසම් සරවනමුත්තු කොළඹ කොට්ඨාසයයෙන් තේරී පත්වූවාය.

1936 පැවති මහමැතිවරණයට කාන්තාවෝ තිදෙනෙක් තරග කළහ. උතුරු කොළඹ අසුනට තරග කළ තේසම් සරවනමුත්තු ඉන් ජය ගත්තාය. 1947දී නියෝජ්‍ය මන්ත්‍රී මණ්ඩලයට කාන්තාවෝ තිදෙනෙක් තරග වැදුණාහ. මැද කොළඹට අයේෂා රවුෆ්, කිරිඇල්ලට ප්ලෝරන්ස් සේනානායක, බළපිටියට ශ්‍රීමති අබයගුණවර්ධන ලෙස එම ලැයිස්තුව ගත හැක්කේය. ආසනය දිනා පාර්ලිමේන්තුවට ඒමට හැකිවූයේ ප්ලෝරන්ස් සේනානායකට පමණය. ප්‍රථම පාර්ලිමේන්තුවට ‘අතර මැද්දෙන්’ තවත් කාන්තාවෝ දෙදෙනෙක් එක් වූහ.

අවිස්සාවේල්ල අසුන පිලිප් ගුණවර්ධනට අහිමි වූ බැවින් ඒ සඳහා කුසුමා ගුණවර්ධන ද මහනුවර අසුන අහිමි වූ ටී.බී. ඉලංගරත්න වෙනුවෙන් තමරා කුමාරි ඉලංගරත්න ද එසේ එක් වූහ.

මෙතැන් පටන් ශ්‍රී ලාංකේය දේශපාලනයේ ස්ත්‍රී නියෝජනයේ පදනම වූයේ, වැන්දඹු සහ දෘහිතෘ සහලක්ෂණයය.

පියාගේ ඇවෑමෙන් හෝ සැමියා වෙනුවට යන ආදේශක මාදිලිය, ස්වාධීන ආකාරයෙන් කාන්තාව දේශපාලන පිටියේ කරක් ගැසීමක් නොවේ. පස්සෙන් යෑමේ ප්‍රතිඵලයකි. කර කියාගත හැකි දෙයක් නැති හෙයින් හිස් තැන් පිරවීමකි. කාන්තා නියෝජනය ලෙස ශ්‍රී ලංකාවේ දිගින් දිගටම ක්‍රියාත්මක වූයේ මේ පිළිවෙතය.

1952 මහමැතිවරණයෙන් අවිස්සාවේල්ලෙන් කුසුමා ගුණවර්ධනත්, අකුරැස්සෙන් ඩොරීන් වික්‍රමසිංහත් ජයග්‍රහණය කළහ. දොස්තර එස්.ඒ. වික්‍රමසිංහගේ භාර්යාව වූ ඩොරින් ද පිලිප්ගේ බිරිය වූ කුසුමා ද කාන්තා නියෝජනයේ ලකුණු වුවද අර සහලක්ෂණය ඉක්මවා ගියේ නැත.

මේ ලෙඩේ දකුණු ආසියාව පුරාම පැතිර ගිය හෙයින් ප්‍රධාන දේශපාලන තනතුරු සඳහා පත්වූ සියලු ලියෝ, ඒ පාරේ ගියෝය.

අගමැති බණ්ඩාරනායක මහතා ඝාතනයෙන් අනතුරුව සිරිමාවෝ බණ්ඩාරනායක ලොව පළමු අගමැතිනිය වන්නේ ද ඒ පාරේය. හරිනි අමරසූරිය හරවන ලද්දේ ඒ මාවතය.

වැන්දඹු සහ දෘහිතෘ සහලක්ෂණයෙන් තොරව ඕ අගමැතිනිය බවට පත්වන්නීය. ආණ්ඩුවක් ලෙස රටක් ලෙස මෙය විශේෂිතය. එක්සත් ජනපදයේ ජනාධිපති අපේක්ෂිකාවක් බවට කමලා හැරිස් පත්ව ඇත. ඇය ජයග්‍රහණය කළහොත්, වළලු ලූ අතක් එරට පාලනය කරන පළමු අත්දැකීම එය වෙනවා ඇත්තේය. මේ ආකාරයට ලෝකය පුරා මේ සහලක්ෂණය අබිබවමින් කාන්තාවෝ දේශපාලනයේ යෙදෙන සමයේ ශ්‍රී ලංකාව ද ඒ සඳහා සිය දායකත්වය හරිනිගෙන් සපයා ඇත්තේය.

මේ රටේ ජනගහනයෙන් අඩකට වැඩි ප්‍රමාණයක් කතුන්ය. උසස් අධ්‍යාපනය සඳහා සරසවියට ප්‍රවේශ වෙන බහුතරය ද ලියන් බැවින් බොහෝ සරසවි හි, සමහරක් පීඨ කාන්තා පාසල් මෙනි. ක්ෂේත්‍ර ගණනාවක මේ ආකාරයට කාන්තාවෝ ඉදිරියට පැමිණියේ වුවද දේශපාලන නියෝජනයේදී කාන්තා ගමන තවම ඇත්තේ, නොන්ඩි ගසනා තත්ත්වයකය.

සැමියා සහ පියාගේ ඇවෑමෙන් යන විශේෂණයට අමතරව, සහෝදරයාගෙන් පසු සහ වෙනත් ක්ෂේත්‍රයක ලැබූ ප්‍රසිද්ධිය ද කාන්තා නියෝජනය සඳහා උපයෝගි විය.

තලතා අතුකෝරළ, රෝසි සේනානායක, උපේක්ෂා ස්වර්ණමාලි, සුසන්තිකා ජයසිංහ චරිත සිහියට නඟා ගත් විට මේ කාරණය සනාථ වන්නේය. කොතැනක හෝ ජනතාව වෙත නැඟලා යන කාරණයක් තිබුණේ නම්, දේශපාලනඥයා ඒ පිටේ නැඟ ගන්නේය. ජනතාවගේ ඡන්දය සඳහා ජනප්‍රිය චරිත ඇමක් බවට පත් කර ගැනීමේ වුවමනාව මත්තේ, මේ ආකාරයට ද කාන්තාවෝ දේශපාලනයට ආහ.

එය වනාහි කාන්තාවකගේ දේශපාලන ගමනකට වඩා, දේශපාලනයේදී ඇය උපයෝගි කර ගැනීමකි. මේ ලක්ෂණයන්ගෙන් මිදුණු කාන්තා නියෝජනයක් වුවද, දිග ගමනක් නොයන්නේය.

පාර්ලිමේන්තු ආසන අනුව ගණනය කළහොත්, ලෝකයේ සමස්ත කාන්තා නියෝජනයේ සාමාන්‍යය ප්‍රතිශතයක් ලෙස 26.5%ක් පමණය.

ජාත්‍යන්තර කාන්තා නියෝජන සංවිධාන දත්ත ප්‍රකාරව, මධ්‍යම අ‍ෙමරිකාවේ රුවන්ඩා වැනි රටවල කාන්තා දේශපාලන නියෝජනය 60% ඉක්මවා යන්නේය. නැඟෙනහිර යුරෝපයේ සහ නෝර්ඩික් රටවල කාන්තා නියෝජනයේ ප්‍රතිශතය 40% – 45% අතරය. දකුණු ආසියාව හා මැදපෙරදිග රටවල, මෙය 20% කටත් අඩුය. පාර්ලිමේන්තුවේ ආසන අනුව ශ්‍රී ලංකාවේ මේ ප්‍රමාණය 5.4% කි. අප සිටිනා ස්ථානය මේ දත්ත අනුව ගණනය කළ හැකිය. එවන් තත්ත්වයකදී, හරිනිගේ අගමැති පදවිය පිළිබඳව තක්සේරුව අතිශය ඉහළට යනවා ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT