Wednesday, April 23, 2025
Home » දසුන්ගේ වේගවත් ඉනිමෙන් හරාරේ බෝල්ට්ස් පිලට ජය

දසුන්ගේ වේගවත් ඉනිමෙන් හරාරේ බෝල්ට්ස් පිලට ජය

by sachintha
September 25, 2024 12:59 am 0 comment

නායක දසුන් ශානකගේ වේගවත් ඉනිම හේතුවෙන් සිම්බාබ්වේදී පැවැත්වෙන Zim Afro T10 ක්‍රිකට් තරගාවලියේ 7 වැනි තරගයේදී ජොබර්ග් බංග්ලා ටයිගර්ස් පිලට එරෙහිව කඩුලු 4ක ජයක් වාර්තා කිරීමට හරාරේ බෝල්ට්ස් කණ්ඩායම සමත් විය.

මේ තරගයේ පළමුව පන්දුවට පහරදුන් ටයිගර්ස් පිල ඕවර 9.4කදී ලකුණු 90කට දැවී ගිය අතර, එම ඉලක්කය හඹා ගිය බෝල්ට්ස් පිලද ඕවර 9.4කදී ජය තහවුරු කර ගත්තේ කඩුලු 6ක් පමණක් අහිමි කර ගනිමිනි. නායක දසුන් ශානක පන්දු 21කින් නොදැවී ලකුණු 50ක් රැස් කළේ හතරේ සහ හයේ පහර 4 බැගින් එල්ල කරමිනි. ඔහු තරගයේ වීරයා ලෙස ද නම් කෙරිණි. ෂෙහාන් ජයසූරිය පන්දු 10කින් ලකුණු 13ක් ඉනිමට එක් කළේය.

ටයිගර්ස් පිල වෙනුවෙන් නායක ශිකන්දර් රාසා පන්දු 8කින් ලකුණු 20ක් රැස් කරමින් ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ අතර, කුසල් ජනත් පෙරේරාට පන්දු 14කින් රැස් කළ හැකි වූයේ ලකුණු 12ක් පමණි. පන්දු යැවීමේදී දසුන් සහ ෂෙහාන් කඩුල්ල බැගින් දවා ගත්හ.

මේ අතර තරගාවලියේ 8 වැනි තරගයෙන් බුලවායෝ බ්‍රේව් ජගුවර්ස් පිල කඩුලු 4කින් ඩර්බන් වුල්ස් පිල පරාජය කිරීමට සමත් විය. මේ තරගයේදී අකිල ධනංජය ජගුවර්ස් පිල නියෝජනය කළ ද ඔහුට කඩුලු දවා ගැනීමට නොහැකි විය. තරගාවලියේ 9 වැනි තරගයේදී තිසර පෙරේරා නායකත්වය දෙන එන්වයිඑස් ලාගෝස් පිල ලකුණු 22කින් පරාජය කිරීමට කේප් ටවුන් ස්පෑම් ආමි කණ්ඩායමට හැකි විය.

මේ තරගයේදී ලකුණු 129ක ඉලක්කයක් හඹා ගිය ලාගෝස් පිල වෙනුවෙන් තිසර පෙරේරා පන්දු 17කදී හතරේ පහර 2ක් සහ හයේ පහර 6ක් සමඟ ලකුණු 48ක් රැස් කළ ද කණ්ඩායමේ ජයග්‍රහණයට එය ප්‍රමාණත් නොවීය. ආරම්භ පිතිකරු අවිශ්ක ප්‍රනාන්දුට රැස් කළ හැකි වූයේ පන්දු 12කින් ලකුණු 19ක් පමණි. බිනුර ප්‍රනාන්දුට මේ කණ්ඩායමට ක්‍රීඩා කළ අතර, ඔහු පන්දු යැවීමේදී කඩුල්ලක් දවා ගත්තේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT