Wednesday, April 23, 2025
Home » නීතිපති දෙපාර්තමේන්තුවේ නිල රිය ඉස්සූ පෞ. ආරක්ෂක දෙදෙනා රිමාන්ඩ්

නීතිපති දෙපාර්තමේන්තුවේ නිල රිය ඉස්සූ පෞ. ආරක්ෂක දෙදෙනා රිමාන්ඩ්

by sachintha
September 25, 2024 12:15 am 0 comment

නීතිපති දෙපාර්තමේන්තුවේ වාහන රැඳවුම් අංගණයේ නවතා තිබූ නිල රථයක් පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් කෙසෙල්වත්ත පොලිසිය මඟින් අත්අඩංගුවට ගත් එම දෙපාර්තමේන්තුවේ පෞද්ගලික ආරක්ෂක අංශයේ ස්ථානාධිපතිවරයා සහ ආරක්ෂක කළමනාකාරවරයා ලබන 02 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (24) නියෝග කළේය.

මෙම සිද්ධියට අදාළව කෙසෙල්වත්ත පොලිසිය මඟින් ඉදිරිපත් කරන ලද කරුණු විමසා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී තිබිණි. ලැබුණු රහසිගත තොරතුරකට අනුව වැටලීමක් සිදු කර කෙසෙල්වත්ත පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් පසුගියදා (22) පෙරවරුවේ නීතිපති දෙපාර්තමේන්තුව අසලදී එම වාහනය සමඟ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව එහිදී අධිකරණයට දැනුම් දුන්නේය.

මෙම සැකකරුවන් දෙදෙනා විසින් අදාළ වාහනය රහසිගතව රැගෙන ගම්බිම් බලා ගොස් දින 03කට පසු නැවත පැමිණෙමින් සිටියදී ඔවුන් අත්අඩංගුවට ගත් බව මෙහිදී අධිකරණයට දැනුම් දුන්නේය.

පොදු දේපොළ යටතේ ගැනෙන සාවද්‍ය පරිහරණය හා විශ්වාසය කඩ කිරීමේ චෝදනා යටතේ අදාළ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළ බව ද දැනුම් දුන්නේය.

ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය සැකකාර නිලධාරීන් දෙදෙනා ලබන 02 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

කල්පනි අබේසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT