Sunday, April 20, 2025
Home » ‘සියනෑ සාහිත්‍ය සංහිතා-2024’ දී සාහිත්‍යකරුවන් සිව් දෙනකුට සම්මාන

‘සියනෑ සාහිත්‍ය සංහිතා-2024’ දී සාහිත්‍යකරුවන් සිව් දෙනකුට සම්මාන

by sachintha
September 24, 2024 3:02 am 0 comment

දොම්පෙ ප්‍රාදේශීය සභාවේ ‘සියනෑ සාහිත්‍ය සංහිතා -2024’ සාහිත්‍ය මහෝත්සවය පසුගියදා දොම්පෙ ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.

මෙහිදී මෙම බල ප්‍රදේශයට අයත් පුස්තකාල 4හි සාමාජික සිසු දරුවන්ට සහ විශේෂ කුසලතා දැක්වූ පස්දෙනකු සඳහා සහතිකපත් හා විශේෂ සියනෑ ප්‍රසාදනී සම්මානය පිරිනැමිණ. දොම්පෙ ප්‍රාදේශීය සභාවේ ලේකම් අජිත් රණසිංහ මහතාගේ ආරාධනයෙන් මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස බස්නාහිර පළාත් සහකාර කොමසාරිස් රුවනි ප්‍රනාන්දු මහත්මිය සහ සහකාර කොමසාරිස් (ප්‍රජා සංවර්ධන) මල්කාන්ති විජේවර්ධන මහත්මිය, ප්‍රධාන දේශක ලෙස ප්‍රවීණ දේශක කොළඹ පොලිස් කාන්තා හා ළමා ආරක්ෂක අංශයේ පොලිස් සැරයන් සම්පත් උඩුදුම්බර මහතා ඇතුළු පිරිසක් ද සහභාගී වූහ.

මෙහිදී වෛද්‍ය චින්තන විරාජ් ලියනගේ මහතා සියනෑ ගෞරව කීර්ති සම්මානයෙන් පිදුම් ලැබීය. ඒ මහතා අලගියවන්න පරපුරේ සාමාජිකයකු වන අතර, ගම්පහ නියෝජ්‍ය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සේවය කර මේ වන විට ගම්පහ මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී ලෙස සේවය කරමින් සාහිත්‍ය මෙහෙවරක නියැළී සිටී. මෙතුමා කෙටි කතා, ළමා ප්‍රබන්ධන හා වෛද්‍ය විද්‍යාව සම්බන්ධ පර්යේෂණ කෘති ග්‍රන්ථ 18ක් එළිදක්වා ඇත. ඊට අමතරව ජුගුප්සාජනක බව හා ඖෂධ මාෆියාවේ ඇති භයංකරභාවය මුල්වරට ලොවට හෙළි කළ G.EDWARD GRIFFIN ගේ ‘WOLD WITHOUT CANCER’ නම් කෘතිය ‘පිළිකා නැති ලෝකය’ නමින් සිංහලයට පරිවර්තනය කර මෙම සම්මාන ප්‍රදානයේදී එහි පිටපතක් බස්නාහිර පළාත් සහකාර කොමසාරිස්වරියට පිරිනැමීම ද සිදු විය.

මේ අතර, කැලණිය විශ්වවිද්‍යාලයෙන් වාණිජවේදී උපාධිය ලබා පසුව එම විශ්වවිද්‍යාලයෙන් පුරාවිද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධිය ද, පර්යේෂණ කෘති හා නවකතා ගණනාවක් පළ කර රාජ්‍ය සාහිත්‍ය සම්මානය ද ලද හා 2019 වර්ෂයේදී හොඳම පාරිසරික වාර්තාකරණයට හිමි ජනාධිපති සම්මානයෙන් ද, 2023 වර්ෂයේ විශ්වාභිනන්දන සම්මානයෙන්ද පිදුම් ලබා ඇති කුසුම්සිරි විජේවර්ධන මහතාට ද මෙතෙක් කළ ජනතා මෙහෙවර අගයමින් 2024 වසරේ සියනෑ ප්‍රසාදිනී සම්මානය හිමි විය.

ඓතිහාසික මල්වාන, කළුකොඳයාව ග්‍රාමයේ උපත ලද බොල්ලෑගලගේ උපුල් අසේල සරත් කුමාර මහතා ද පාසල් අධ්‍යාපනයත් සමඟම යාන්ත්‍රික වඩුකාර්මික ශිල්පියකු ලෙස නිර්මාණ ක්ෂේත්‍රයට පිවිස කාර්මික විද්‍යලවලින් පුහුණුව ලබා පසුව ‘විශ්ව කලා’ නමින් පුද්ගලික ව්‍යාපාරයක් ආරම්භ කර ජනතා නෙත් සිත් වශී කරන්නට නිර්මාණ රැසක් ප්‍රේක්ෂක ප්‍රජාවට ඉදිරිපත් කිරීම අගයමින් ඒ මහතා ද සම්මානයට පාත්‍ර විය. නූල් උපයෝගී කර ගනිමින් සිදු කරනු ලැබූ සිත්කළු නිර්මාණ තුළින් ද ප්‍රේක්ෂක සිත් ගැනීමට ඔහු සමත් විය. මෙම ක්ෂේත්‍රය අනාගත පරපුරට පවරනු වස් කරන ලද අපරිමිත කැපවීම වෙනුවෙන් සියනෑ ප්‍රසාදිනී සම්මානයෙන් ඔහු පිදුම් ලැබීය.

කුඩා කල සිටම පොත පත කියවීමේ දක්ෂතා දැක්වූ පූගොඩ, බංගලාවත්ත ග්‍රාමයේ උපත ලැබූ දොන් පාවුලු ආරච්චිලාගේ අතුල පේමරත්න මහතා සරසවි වරම් හිමි කරගත් අයෙකි. කොළඹ විශ්වවිද්‍යාලයෙන් සන්නිවේදනය හා මාධ්‍ය පිළිබඳ ඩිප්ලෝමාව ද, කැළණිය විශ්වවිද්‍යාලයෙන් දේශපාලන විද්‍යාව පිළිබද පශ්චාත් උපාධිය ද හිමි කර ගත් ඔහු මේ වනවිට ග්‍රන්ථ 15ක් එළිදක්වා ඇත. ඔහු ද සියනෑ ප්‍රසාදිනී සම්මානයෙන් පිදුම් ලැබීය.

රදාවාන මහගමසේකර මහා විද්‍යාලයේ මූලික අධ්‍යාපනය ලැබූ එස්.එම්.නිශාන් සේනාරත්න මහතා උසස් අධ්‍යාපනය සඳහා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ සහ ‘විභවි’ කලා ඇකඩමියට ඇතුළත්ව, අනතුරුව කැලණිය විශ්වවිද්‍යාලයෙන් පුරාවිද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධිය හිමි කරගෙන ඇති අතර, කුඩා කල සිටම විවිධ නිර්මාණ කෙරෙහි විශේෂ කුසලතා දැක්වූ ඔහු චිත්‍ර කලා ගුරුවරයකු ලෙස සේවය කරමින් තඹ පිත්තල භාවිතයෙන් මූර්ති නිර්මාණ කිරීම මෙන්ම විවිධ යුගයන්වලට ආවේණික චිත්‍ර නිර්මාණය, මූර්ති නිර්මාණය, සාම්ප්‍රදායික මූර්ති හා නිර්මාණ ආදී කලා ක්ෂේත්‍රවලට ආවේණික වූ ඉසව් ගණනාවක් ගවේෂණය කර ඉදිරි පරපුරට දායාද කිරීම නිමිත්තෙන් ඒ මහතාට ද සියනෑ ප්‍රසාදිනී සම්මානය හිමි විය.

මෙම උත්සවය සංවිධානය කිරීම දොම්පෙ ප්‍රාදේශීය සභාවේ ලේකම් අජිත් රණසිංහ මහතා ඇතුළු කාර්ය මණ්ඩලය විසින් සිදු කරන ලදී.

කිරිඳිවැල සමූහ

ජී.එස්. තැලිගම

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT