Home » ඉරිදා පැවැත්වෙන ටියුෂන් නිසා දහම් අධ්‍යාපනයට බාධා

ඉරිදා පැවැත්වෙන ටියුෂන් නිසා දහම් අධ්‍යාපනයට බාධා

by sachintha
September 24, 2024 2:54 am 0 comment

මැදවච්චිය ශාසනාරක්ෂක මණ්ඩලයේ හිටපු ලේඛකාධිකාරි, මැදවච්චිය ශ්‍රී ඥානරතන දහම් පාසලේ ප්‍රධාන ආචාර්ය තාමරවැව සිරිසුමන හිමියෝ

නීතිය නිසි අයුරින් ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් සහ ඉරිදා දින පැවැත්වෙන ටියුෂන් හේතුවෙන් දහම් අධ්‍යාපනයට විශාල බාධාවක් සිදුව ඇති බව මැදවච්චිය ශාසනාරක්ෂක මණ්ඩලයේ හිටපු ලේඛකාධිකාරි, මැදවච්චිය ශ්‍රී ඥානරතන දහම් පාසලේ ප්‍රධානාචාර්ය තාමරවැව සිරිසුමන හිමියෝ ප්‍රකාශ කළහ.

මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යාල බලප්‍රදේශයේ දහම් පාසල් 45ක් අතර පසුගියදා පැවැත්වූ ප්‍රාදේශීය සිසු නිපුණතා තරගාවලිය පිළිබඳ මාධ්‍ය වෙත අදහස් දැක්වූ අවස්ථාවේ දී උන්වහන්සේ එසේ පැවසූහ. මැදවච්චිය ශ්‍රී ඥානරතන දහම් පාසලේ දහම් දරුදැරියන් 38 දෙනකු ඉදිරිපත් වී එයින් ප්‍රථම ස්ථාන 14ක් සහිත 34 දෙනකු ස්ථාන ලබා ගැනීමට සමත් විය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මැදවච්චිය ශ්‍රී ඥානරතන දහම් පාසලේ ප්‍රධානාචාර්ය තාමරවැව සිරිසුමන හිමියෝ, මෙවර පැවැත් වූ සිසු නිපුණතා තරගාවලියේදී ප්‍රථම ස්ථාන 14ක් ලබාගත් එකම දහම් පාසල මැදවච්චිය ශ්‍රී ඥානරතන දහම් පාසලයි. දෙවන ස්ථාන 08ක්, තෙවන ස්ථාන 04ක්, සිව්වන ස්ථාන 07ක්, පස්වන ස්ථාන 01ක් ලෙස මෙම දහම් පාසලේ දහම් දරුවෝ ස්ථාන ලබා ගත්හ. අපේ රටේ දහම් අධ්‍යාපනයට තාමත් ප්‍රමුඛත්වයක් ලැබෙන්නේ නෑ. එයට විසඳුම් ඉල්ලා අපි සියලුම බලධාරීන්ට ලිඛිතව යෝජනා යොමු කරලා තියෙනවා. ඒත් කිසි ඵලක් නෑ. ඉරිදා දින පැවැත්වෙන ටියුෂන් නිසා දහම් අධ්‍යාපනයට විශාල බාධාවක් වෙලා තියෙනවා. අපේ රටේ දරුවන්ට දහම් අධ්‍යාපනය අත්‍යාවශ්‍යයි. ඒක හැමෝම තේරුම් ගත යුතුයි. ඒ තුළින් යහපත් දරුපරපුරක් අපට රටට භාරකළ හැකියි.

අද සිරගෙවල්වල ඉන්නේ, ගමෙන් කොන්වෙලා ඉන්න තරුණයින් දෙස හොඳින් අවධානය යොමු කරලා බලන්න. ඒ අයට දහම් අධ්‍යාපනය ලැබිලා නෑ. අධ්‍යාපනය කියලා පොතට පමණක් සීමා වෙලා දරුවන් හදලා වැඩක් නෑ. සාරධර්මවලින් පරිපූර්ණ දරු පරපුරක් තමයි අපට අවශ්‍ය. ඒක තේරුම් ගන්න අද ගොඩක් අය අපොහොසත් වෙලා.

රටක් වශයෙන් අපි සැවොම එකතු වෙලා මේ දහම් අධ්‍යාපනයට අවැසි නිසි ස්ථානය බලධාරින්ගෙන් ලබා ගැනීමට කටයුතු කළ යුතුයි. දෙපාර්තමේන්තු ලෑල්ලකට පමණක් සීමා නොවී දහම් අධ්‍යාපනය නෙඟාසිටුවීමට අවශ්‍ය නීති රීති නව ක්‍රමවේද වර්ෂයෙන් වර්ෂය හඳුන්වා දී මෙයට ප්‍රමුඛත්වයක් ලබා දීමයි වැදගත්. මෙහි අධ්‍යාපනය ලබා දෙන ආචාර්ය මණ්ඩලවල කොඳු නාරටිය සවිබල කරන ක්‍රමවේද ගේන්න කියල බලධාරීන්ට අපි කියනවා. ටියුෂන් වහන්න ඉරිදා දින. එහෙම වුණොත් අපිට පුළුවන් මේ රටේ දහම් අධ්‍යාපනයෙන් පරිපූර්ණ වූ සාරධර්මවලින් පරිපූර්ණ දරු පරපුරක් හදන්න.

 

කැබිතිගොල්ලෑව සමූහ

එස්.ජී. උබේපාල

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT