ශ්‍රී ලංකා පොලිසියේ කීර්තිමත් නිලධාරියකු වන විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත්කරනු ලැබීය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය, ත්‍රස්ත මර්දන කාර්යාංශය, බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසය යන විශේෂ පොලිස් අංශවල ප්‍රධානියා ලෙස කටයුතු කර ඇති රවී සෙනෙවිරත්න මහතා පොලිස් විශේෂ කාර්ය බළකායේ ආරම්භක සාමාජිකයෙකි.
ත්‍රස්තවාදීන්ට එරෙහි සටනේ දී නැඟෙනහිර පළාතේ එල්.ටී.ටී.ඊ.යේ කඳවුරු රැසක් අත්පත්කර ගැනීමට විශේෂ කාර්ය බළකා සෙබළකු ලෙස නායකත්වය දී ඇති සෙනෙවිරත්න මහතා බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙස සේවයේ නිරතව සිටිය දී මාලිගාවත්ත බාරෝන් ජයතිලක මාවතේ දී ඔහු ගමන්කරමින් සිටි මෝටර් රථය ඉලක්ක කර කොටි ත්‍රස්තවාදීන් විසින් ක්ලේමෝ බෝම්බයක් ද අටවා තිබුණි.
යම් දෝෂ තත්ත්වයක් හේතුවෙන් ත්‍රස්තවාදීන්ගේ දුරස්ථ පාලකය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් රවී සෙනෙවිරත්න මහතාගේ ජීවිතය එකල බේරිණි.
ජාතික ජන බලවේගයේ පොලිස් සාමූහිකයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ ඒ මහතා ශ්‍රී ලංකා පොලිසියේ සිටි දැක්මක් සහිත නිලධාරියෙකි. බත්තරමුල්ලේ, සුහුරුපාය ගොඩනැඟිල්ලේ 18 වැනි මහලේ පිහිටි මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ දී ඔහු ඊයේ වැඩ භාරගත්තේය.
රවී සෙනවිරත්න මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ මානව හිමිකම් පිළිබඳ ශාස්ත්‍රපති උපාධිධාරියෙකි. විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු වන ඒ මහතා විශේෂ කාර්ය බළකායේ ආරම්භක සාමාජිකයකු ලෙස ද, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ, තායිලන්ත ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ හිටපු පළමු ලේකම් හා ඉන්ටර්පෝල් ශ්‍රී ලංකා ශාඛාවේ හිටපු ප්‍රධානි ලෙස ද කටයුතු කර ඇත.
ගයාන් කුමාර වීරසිංහ