Home » නව ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්ත

නව ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්ත

by sachintha
September 24, 2024 3:48 am 0 comment

ආරක්ෂක අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ගුවන් හමුදාවේ විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් එච්.එස්. සම්පත් තුයියකොන්ත මහතා පත් කර තිබේ. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 52 (1) අනුව්‍යවස්ථාවේ බලය ප්‍රකාරව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම පත් කිරීම සිදු කර ඇත.

1988 මැයි මස 17 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා කැඩෙට් නිලධාරියකු ලෙස එක් ව ඇති තුයියකොන්ත මහතා, 1990 වර්ෂයේදී සාමාන්‍ය රාජකාරි නියමු නිලධාරියෙකු ලෙස පත්ව තිබේ.

එමෙන්ම 1990 වසරේ හෙතෙම බෙල් 212/412 හෙලිකොප්ටර් යානාවල මෙහෙයුම් නියමුවකු ලෙස පියාසර රාජකාරි සඳහා යොදවා ඇත.

2001 වසරේ දී ඔහු දෙවන අණදෙන නිලධාරියකු ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදා හිඟුරක්ගොඩ කඳවුරේ අංක 9 ප්‍රහාරක හෙලිකොප්ටර් බලගණයට පත් කරන ලද අතර, පසුව 2005 වසරේදී අණදෙන නිලධාරි ලෙස පත් කරන ලදි. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ප්‍රහාරක හෙලිකොප්ටර් නියමුවකු ලෙස පියාසර පැය 7,000කට අධික කාලයක් වාර්තා කිරීමට ද හෙතෙම සමත් වී ඇත. ඔහු සිය දීර්ඝ සේවා කාලය තුළ උතුරු නැඟෙනහිර මුදාගැනීමේ මානුෂීය මෙහෙයුම ඇතුළු සියලුම ප්‍රධාන මෙහෙයුම් සඳහා ක්‍රියාකාරීව සහභාගි වී ඇත.

චීන ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ආරක්ෂක අධ්‍යයනය පිළිබඳ විද්‍යාපති උපාධිධාරියකු වන තුයියකොන්ත මහතා කොතලාවල ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයේ විද්‍යාපති උපාධිධාරියෙකි.

එම්අයි 24 ප්‍රහාරක හෙලිකොප්ටර් බලගණයේ හිටපු අණදෙන නිලධාරි, අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ හිටපු අණදෙන නිලධාරි, චීන වරාය ගුවන් හමුදා විද්‍යා පීඨයේ හිටපු පීඨාධිපති, පාකිස්තානයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ හිටපු ආරක්ෂක උපදේශක හා කටුනායක ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරි හා ගුවන් හමුදා මූලස්ථානයේ හිටපු පුහුණු අධ්‍යක්ෂ ද වන තුයියකොන්ත මහතා වීරවික්‍රම විභූෂණ, රණවික්‍රම හා රණශූර යන ගෞරවයන් හිමිකරගෙන ඇත.

වසර 1966 නොවැම්බර් 26 වනදා උපත ලැබූ ඒ මහතා වසර 33ක කාලයක් ගුවන් හමුදාවේ අභිමානවත් සේවයක් කර වසර 2021දී විශ්‍රාම ලැබීය.

රක්ෂණ ශ්‍රියන්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT