Home » යළි පිබිදෙන අටල්ල ශ්‍රී රම්‍යාරාම පුදබිම

යළි පිබිදෙන අටල්ල ශ්‍රී රම්‍යාරාම පුදබිම

by sachintha
September 24, 2024 2:59 am 0 comment

කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇතුගල්පුරට නුදුරු හැටහය කෝරළේ හිරියාල හත්පත්තුවේ ඉබ්බාගමුව නගරයට ඔබ්බෙන් අටල්ල දිග්ගලේ වතුයාය කෙළවරක අතිශය සුන්දර පරිසරයක ශ්‍රී රම්‍යාරාමය නමින් බොදුනුවන් වෙනුවෙන් පින්බිමක් 1960 වසරේදී ඉදි විය. ඉබ්බාගමුවට නුදුරේ බතලගොඩ වැව් තලයේ දියවර පහස ලද සාරවත් කෙත් වතුද, පේන මානයෙන් ඓතිහාසික ඔසු උයනක් වූ දොළුකන්දද, ඓතිහාසික රාජ පූජිත ඒකද්වාරික පෙරියකඩු රාජමහා විහාරස්ථානයද, පවුරක් ලෙස මුරුතව කඳු පන්තිද, පන්සල් බිම වසා පැතිර ගිය ගල්තලාවද මේ පින්බිමට ඓතිහාසික පූජනීය වටිනාකමක් එක් කරයි.

ඉහළ දොළොස්පත්තුවේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක උඩුරාවන සෝමරතන හිමියන්ගේ මූලිකත්වයෙන් ඉදි වූ ශ්‍රී රම්‍යාරාමය, ආරම්භක කාල සමයේ පටන්ම ප්‍රදේශවාසි දූදරුවන් උදෙසා දහම් පාසල ආරම්භ කරමින් ශාසනික, සාමාජික සේවා රැසක් සිදු කළ පුදබිමකි. අභාග්‍යයකට මෙන් කලින් කල භික්ෂූන් වහන්සේ නැතිකමින් මේ මහා පුදබිම අභාවයට ගිය නමුත්, 2021 වසරේ දිනක අධිෂ්ඨානශීලි තරුණ භික්ෂුවක ලෙස ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයේ ධර්මාචාර්යවරයකු ලෙස කටයුතු කරන, ශාස්ත්‍රවේදි දොරකුඹුරේ සිරිරතන හිමියෝ විහාරාධිපති ධුරය හෙබවීමේ අතිදුෂ්කර කටයුත්තකට අත පෙවූහ. මේ විහාරස්ථානයේ නිර්මාතෘ නාහිමියන්ගේ ශිෂ්‍ය හිමිනමක වන සිරිරතන හිමියෝ 2021 වසරේ සිට මෙම පින්බිමෙහි ශාසනික පුණ්‍ය කටයුතු අරඹමින්, තෙවසරක ඇවෑමෙන් බොදු සිත් නිවාලන පින්බිමක අසිරිය මවමින් නව බුදුමැඳුර, බෝධි ප්‍රාකාරය, චෛත්‍ය රාජයාණන්ද, ජල පොකුණු සහ සනීපාරක්ෂක පද්ධතියේ සිට විහාරස්ථානයට අත්‍යවශ්‍ය සියලු අංගයන්ද නිමවමින් සුන්දර පූජනීය විහාරස්ථානයක් සසුනට දායාද කළහ. මේ සියලු කටයුතු සිදු කර ඇත්තේ විහාරස්ථානයට කිසිදු ආදායම් තත්ත්වයක් නොමැතිව වන අතර, ඒ සඳහා ශක්තියක් වී ඇත්තේ ගම්වාසි, ප්‍රදේශවාසි සහ ලෝකවාසි බෞද්ධ පින්වතුන්ගේ නොමසුරු ආධාර උපකාරිත්වයයි.

මෙහි ඉදිරි පියවරක් ලෙස ස්වාභාවික ගල් තලාවේ අඩි 60කින් යුතු අවුකන හිටි බුද්ධ ප්‍රතිමා වහන්සේගේ අනුරුව 2025 වසර වන විට නිමවා ලමින්, ඉදිරිපසින් පොකුණත්, සිව් දිශාවෙන් සතරවරම් දේව ප්‍රතිමාත් නිර්මාණය කරමින් සම්බුදු සසුනට පූජා කිරීමේ උතුම් ශ්‍රේෂ්ඨ අරමුණක් ඇතිව දොරකුඹුරේ සිරිරතන හිමියෝ කටයුතු කරමින් සිටිති.

මේ මහා පින්කමට දායක වීමේ මහඟු අවස්ථාව ප්‍රදේශවාසි, ලෝකවාසි ජනයාට සලසා දීමටද උන් වහන්සේ අමතක නොකළහ. ඒ අනුව ලක්ෂ සීයක මුදලක් වැය වන බුද්ධ ප්‍රතිමාවෙහි නිර්මාණ කටයුතු සඳහා රුපියල් ලක්ෂය, පනස්දහස, තිස්දහස, පහළොස්දහස ආදි ලෙස මුදලින් දායක වීමට හැකියාව ඇති අතර, ඒ සඳහා ලංකා බැංකුව, ඉබ්බාගමුව ශාඛාවෙහි 71932049 ගිණුම් අංකයට මුදල් බැර කළ හැකිය. එමෙන්ම මේ සඳහා අවශ්‍ය සිමෙන්ති කොට්ට 1,000ක්, වැලි ටියුබ් 30ක්, මැටල් ටියුබ් 15ක්, මි.මී. විසිපහේ කම්බි 50ක්, මි.මී. දාසයේ කම්බි 50ක්, මි.මී. දොළහේ කම්බි 200ක්, මි.මී. 10 කම්බි 200ක්, මි.මී. අටේ කම්බි 100ක්, කාලෙ කූරු 200ක්, බයින්ඩින් කම්බි කි.ග්‍රෑ. 60ක්, පොඩි ගඩොළු 15,000ක්, ලොකු ගඩොළු 10,000ක්, ලෑලි අඩි 1000ක්, හුනු (වැරටි) කොට්ට 100ක්, කුකුළු දැල් රෝල් 5ක්, ඇණ (2.3) කි.ග්‍රෑ. 20ක්, ලණු කි.ග්‍රෑ. 50ක්, උණ ගස් 100ක් ආදි ලෙස ද්‍රව්‍යවලින් දායක වීමටද බොදු ජනයාට අවස්ථාව පවතී. 0776193323 අංකයෙන් සිරිරතන හිමියන්ට ඇමතීමෙන් වැඩි විස්තර ලබාගත හැකිය.

තක්ෂිලා උදයංගනී

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT