Sunday, April 20, 2025
Home » ජනපති දළදා සමිඳුන් වැඳ මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදකී

ජනපති දළදා සමිඳුන් වැඳ මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදකී

by sachintha
September 24, 2024 3:09 am 0 comment

ජනපති ධුරයේ දිවුරුම් දීමෙන් පසු අනුර දිසානායක මහතා ඊයේ (23) පස්වරුවේ ශ්‍රී දළදා මාලිගාවට පැමිණ ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා ගත්තේය. ශ්‍රී දළදා මාලිගාවේ ප්‍රධාන වාහල්කඩ අබියසට පැමිණි ජනපතිවරයා දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් පිළිගෙන දළදා මාලිගාව වෙතට කැඳවාගෙන ගියේය.

අනතුරුව හේවිසි මණ්ඩපය ඉදිරිපිට දී දියවඩන නිලමේවරයා ප්‍රමුඛ සතර මහා දේවාල බස්නායක නිලමේවරු නව ජනපතිවරයා පිළිගත්තේය.

ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා ගැනීමට ගිය ජනපති අනුර කුමාර දිසානායක මහතාට ආශීර්වාද කළ දළදා තේවාව භාර උරුලෑවත්තේ ධම්මරක්ඛිත නාහිමියෝ ඒ මහතා වෙත බුදු පිළිමයක් ද පිළිගන්වනු ලැබූහ.

අනතුරුව ශ්‍රී දළදා මාලිගාවට පැමිණෙන විශේෂ අමුත්තන්ට වෙන්කර ඇති පොතේ සටහනක් තැබූ ජනපතිවරයා මල්වතු අස්ගිරි මහනායක හිමිවරුන් දෙනමගේ ආශීර්වාද ලබා ගත්තේය.

මේ අවස්ථාවට ජාතික ජන බලවේගයේ විධායක සභිකයන් වන බිමල් රත්නායක හා කේ.ඩී. ලාල්කාන්ත මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වූහ.

අසේල කුරුළුවංශ

ඡායාරූප- රුවන් මීගම්මන සහ බුද්ධික රොෂාන් 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT