ශ්‍රී ලංකාවේ පවුල් කිහිපයක් අතර හුවමාරු වෙමින් පැවති දේශපාලන බලඅධිකාරිය ප්‍රථමවරට දේශපාලන පවුලකින් නොපැමිණි රටේ සාමාන්‍ය පුරවැසියකු අතට පත්වූ මෙම අවස්ථාව ශ්‍රී ලාංකේය දේශපාලන ඉතිහාසය තුළ වඩාත් වැදගත් අවස්ථාවක් සටහන් කරයි. මෙතෙක් තුන්වන බලවේගය ලෙස නාමකරණයට ලක්ව සිටි ජාතික ජන බලවේගය මේ වන විට එම නාමකරණයේ ලේබලය බිඳ දමමින් ශක්තිමත් අනන්‍යතාවක් තමා වටා ගොඩනංවා තිබේ. සමාජ පරිවර්තනයක් තුළින් සංවර්ධිත ආකල්පයන්ගෙන් හෙබි, දියුණු ආර්ථිකයක් සහිත ජන සමාජයක් ගොඩනැඟීම ඔවුන් තම යුතුකම හා කාර්යභාරය සේ සලකා ඇති බව ‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ යන ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ පෙන්වා දෙයි.
ජනාධිපති අපේක්ෂකයකු ලෙස අනුර කුමාර දිසානායක මහතා තම දේශපාලන ක්‍රියාවලියේ ප්‍රමුඛතම කාර්යය ලෙස පෙන්වා දෙන ලද්දේ නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනඟා ගැනීමේ අවශ්‍යතාව හා ඒ සඳහා පුරවැසියා පෙළගැසිය යුත්තේ කෙසේ ද යන්න පිළිබඳවත්, එම කාර්යභාරය සඳහා රට තුළින්ම ස්වාභාවික සම්පත් සොයාගත හැකි බවත්, විද්‍යාව හා තාක්ෂණය විසින් නිෂ්පාදන ආර්ථිකයේ ප්‍රධාන කාර්යභාරයක් ඉටුකරගත හැකි බවත්, කෘෂිකර්මාන්තය, චිත්‍ර කලාව, රංග කලාව, සාහිත්‍යය වැනි නිර්මාණශීලී කර්මාන්තයන්, සංචාරක කර්මාන්තය, මෘදුකාංග තාක්ෂණය වැනි ක්ෂේත්‍රයන් කෙරෙහි අවධානය යොමුකිරීමේ ශක්‍යතාව පිළිබඳවත්ය.
පුරවැසි අයිතීන්
පුරවැසියා යටත්වැසියකු නොවිය යුතුය යන මානසිකත්වය තුළ තම පුරවැසි අයිතීන්, වගකීම් හා යුතුකම් ඉටුකිරීමට අභිප්‍රේරණයක් ඇතිකිරීමට උත්සාහ ගැනීම ද ජාතික ජන බලවේගයේ අපේක්ෂාවක් වූ බව එහි නායක අනුර කුමාර දිසානායක මහතාගේ මත පළකිරීම්, මහජන ආමන්ත්‍රණයන් තුළින් මහජනයාට ශ්‍රවණය විය. ධනපති එමෙන්ම පරම්පරාවෙන් දේශපාලන බලය හිමිවූ පාලකයන් සාමාන්‍ය පුරවැසියාගේ සිතුම් පැතුම්, දුෂ්කරතා, අසරණකම්, අරමුණු පිළිබඳ කොතෙක්දුරට අවධානය යොමු කළේ ද, සානුකම්පිත වීද යන්න ද ගැටලුසහගතය. පුරවැසියා යනු ඉදිරියට යාමට, සැපත් ජීවිතයක් ගතකිරීමට, මහජන අයිතිවාසිකම් භුක්ති විඳීමට, සමානාත්මතාවට ඇලුම් කරන්නෙකි. මෙවර ජනාධිපතිවරණය දේශපාලන ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් වීමට බලපෑ හේතු අතර ප්‍රබලතම හේතුවක් වූයේ සාමාන්‍ය පුරවැසියා අරමුණු කරගත් ආමන්ත්‍රණයයි. වසර ගණනාවක සිට පීඩා විඳින ආර්ථික, දේශපාලනික පීඩනයන්ගෙන් මිදී ස්වාධීන පුරවැසියන් ලෙස නැඟී සිටීමට පුද්ගලයාට උත්ප්‍රේරණයක් සැපයීම තුළ ජයග්‍රහණයේ මාවත් විවෘත වුණි.
දැවැන්ත සමාජ පරිවර්තනය
බහුතර ජනතා ප්‍රතිශතයකට අවශ්‍ය වූයේ දැවැන්ත සමාජ පරිවර්තනයකි. එය හුදු ආණ්ඩු මාරුවක් පමණක් නොවේ. කණ්ඩායමක් ගෙදර යවා හිස්වන පුරප්පාඩු පුරවා දැමීමක් නොවේ. ජනතාවට අවශ්‍ය වූයේ සාධනීය වෙනසකි. පුනරුදයකි. බිඳවැටී පැවති ආර්ථීක, සමාජයීය, දේශපාලනික, අධ්‍යාපනික, කෘෂිකාර්මික, සෞඛ්‍ය, කලා ක්ෂේත්‍රයන්හි යළි පිබිදීමකි. එනිසාම අනෙක් දේශපාලන කණ්ඩායම් විසින් ඉදිරිපත් කරන ලද ප්‍රතිපත්ති ප්‍රකාශන ජනතාව තවදුරටත් පිළි නොගත්තේය. තැපැල් ඡන්දය පැවැත්වීමට දින කිහිපයකට පෙර රාජ්‍ය සේවක වැටුප රුපියල් 25,000කින් ඉහළ දමන බවට පැවති ආණ්ඩුව විසින් පොරොන්දු දුන්නද, රාජ්‍ය සේවකයා එවැනි පොරොන්දුවලට ඇහුම්කන් නොදුන් බවට තැපැල් ඡන්ද ප්‍රතිඵල හොඳින්ම සාක්ෂි දරයි. ජනතාව ඉල්ලා සිටියේ ඉහළ ගොස් ඇති ජීවන වියදම පහළ දැම්මේ ආර්ථික, සමාජමය යන්ත්‍රණයක් මිස වැටුප් වැඩිකිරීමක් නොවේ. එම ප්‍රතිපත්ති ප්‍රකාශනයන්හි නිෂ්පාදන ආර්ථිකයක් පිළිබඳ සඳහන් නොකෙරෙන අතර, විකිණීම්, මිලදී ගැනීම් මත පදනම් වූ ආර්ථිකයක් කෙරෙහි ජනතා පෙළඹුමක අවශ්‍යතාව පෙන්වා දේ. නිෂ්පාදන ආර්ථිකයකින් තොරව සමාජ ප්‍රගමනයක් සිදු නොවන බව වටහා ගැනීමට ජනතාව බුද්ධිමත්ව සිටින බැවින් ඔවුන් තවදුරටත් කවර ආකර්ෂණීය ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් කළ ද ඒවා තවදුරටත් විශ්වාස නොකරන හා ඒවාට ගැති නොවන තැනට පැමිණ සිටී.
ජනතාවට මෙම ජනාධිපතිවරණයේදී අවශ්‍ය වූයේ බිඳ වැටී ඇති සමාජ, ආර්ථික, දේශපාලනික, අධ්‍යාපන ක්‍රියාවලිය නැවත ශක්තිමත්ව ගොඩනඟා රට සමෘද්ධිමත් කිරීම මිස පෞද්ගලික වාසි ප්‍රයෝජන නොවේ. ජාතික ජන බලවේගය වටා එකතු වූයේ ද එම පරමාර්ථය මූලික කරගත් පුරවැසි කණ්ඩායමකි.
අධ්‍යාපනය, සෞඛ්‍යය හා ප්‍රවාහනය යන ක්ෂේත්‍රයන් අත්‍යවශ්‍ය මහජන සේවා ලෙස සලකා එම ක්ෂේත්‍රයන් සංවිධානය හා ශක්තිමත් කිරීමට ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ලබා දුන් ඉඩකඩ ජනතාවගේ ප්‍රසාදයට හේතු විය. සම්පත් බෙදී යාමේ අසමානතාව හේතුවෙන් රට පුරා පැතිර ඇති අධ්‍යාපනයේ විෂමතාව දුරු කිරීම, අධ්‍යාපන ප්‍රතිපත්ති තුළ වෘත්තීය අධ්‍යාපනය කෙරෙහි ඉඩ ප්‍රස්තා සලසා දීම පුළුල් කිරීම, අධ්‍යාපනය හා රැකියා වෙළෙඳපොළ අතර සම්බන්ධය ගොඩනැඟීම හා නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැඟීමේ කාර්යයට ඒ සඳහා සුදුසුකම් ඇති වෘත්තිකයන් තෝරාගෙන රටේ සංවර්ධන කාර්යය සාර්ථකව, විධිමත්ව සංවිධානය කිරීම කෙරෙහි මහජන පෙළගැසීම ඇතිකිරීම කෙරෙහි අවධානය යොමු කරන ලදි.
‘මිනිසා පොළොවේ හිමිකාරයාය’ යන අදහස මත පරිසරය හා මිනිසා අතර සහසම්බන්ධතාවක් ගොඩනැඟීම, බලශක්ති ක්ෂේත්‍රය පුනර්ජනනීය බලශක්ති ප්‍රභව මත පදනම් වූ කලාපයක් බවට පත්කිරීමත්, පරිසර පද්ධති බිඳ නොදමමින් කෘෂිකර්මය දියුණු කිරීමත්, ඒ තුළ කෘෂිකාර්මික සමාජ ක්‍රමයක් යළි ස්ථාපනය කිරීමත්, හරිත මූලධර්ම මත පදනම් වූ ඉදිකිරීම් කර්මාන්තයන් ඇරඹීමත් ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති අතර වේ.
කාන්තා සක්‍රියකරණය ද ජාතික ජන බලවේගයේ සාධනීය ක්‍රියාකාරීත්වය පෙන්වා දෙන්නකි. කායික, වාචික හා මානසික හිංසනයෙන් තොර නිදහස, අයිතිවාසිකම් හිමි ප්‍රජාවක් ලෙස කාන්තාවට සවිබලගැන්වීමට අවකාශ ගොඩනැඟීමේ සමාජයක් හරහා මව, බිරිය, නැඟණිය, දියණිය සමාජය තුළ ආරක්ෂිත ගෞරවනීය පුරවැසියකු ලෙස සමාජගත කිරීමට ගත් උත්සාහය ප්‍රශංසනීයය. එසේම ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්තීන් අතර පැවති ‘සංස්කෘතික මිනිසෙකු’ බිහිකිරීමේ ප්‍රයත්නය ද නූතන අවශ්‍යතාවකි. තරගකාරී, හිත්පිත් නැති, යාන්ත්‍රික ජීවන රටාවෙන් මිදී කලාව, සෞන්දර්යය ඇසුරින් දයාර්ද වූ සහකම්පනයක් සහිත ජීවන දර්ශනයක් මත ගොඩනැඟුණ, මනුෂ්‍යත්වය විශ්වාස කරන, සමාජය තුළ සතුටින්, පහසුවෙන් ජීවත්වීමේ අවකාශ සහිත මිනිසකු බිහිකිරීම ද එම ප්‍රතිපත්තීන් අතර ප්‍රමුඛ විය.
සමාජ ක්‍රමය
අපරාධකරුවන් පාලකයන් වූ සමාජ ක්‍රමය මෙන්ම අපරාධකරුවන්ට දඬුවම් ලබාදෙන සමාජ ක්‍රමයක් ස්ථාපනය කිරීම තුළ දවසින් දවස පෝෂණය වන මත්ද්‍රව්‍ය ව්‍යාපාරය මෙන්ම වංචා හා දූෂණ නවතාලීමත්, සාමකාමී ලෙස ජීවත්විය හැකි ජන සමාජයක් ගොඩනැඟීමත් කෙරෙහි ජනතාවට බලාපොරොත්තු දල්වාගත හැකිවීම ද විශේෂිතය. වසරකට රුපියල් මිලියන 15,000ක මන්ත්‍රී වරප්‍රසාද අහිමි කර, ජනතාව මත පැටවී ඇති බදු බරට හා ආර්ථික පීඩනයට සහනයක් දීම ජාතික ජන බලවේග ප්‍රතිපත්තීන්ගේ ප්‍රධාන පරමාර්ථයකි. මෙතෙක් පැවති ප්‍රභූ – යටත්වැසි සම්බන්ධතාව වෙනුවට අභිමානවත් පුරවැසියකු හා ඔවුනට සේවය කරන ජනතා මිත්‍රයකු හඳුන්වා දීම හා දේශපාලකයන් හා නිලධාරීන් පසුපස නොයමින් ජනතාවට ඉටුකරගත හැකි රාජ්‍ය ආයතන ව්‍යුහයක් හඳුන්වාදීමට ද මූලික අවධානයක් යොමුකර තිබේ. සුදුසුකම් සහිත පුද්ගලයන් දේශපාලන ක්‍රියාකාරීත්වය වටා ඒකරාශී කරගැනීම ද, නිශ්චිත ක්‍රමවේදයකට අනුව දේශපාලන ඇඟිලි ගැසීම්වලින් තොරව ස්වාධීන අධිකරණ ක්‍රියාවලියක් කෙරෙහි අනුබල ලබාදීමට සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ ඉඩ ප්‍රස්තා සලසා දීමට ද අවධානය යොමුකර තිබේ. ජනවාර්ගික බෙදීම හරහා පෑරෙන මිනිස් සිත් සුවපත් කරමින් ජාතියක් ලෙස සියලු මිනිසුන්ට එක ධජයක් යටතේ නිදහස්ව හා ස්වාධීනව නැඟී සිටීමට අවස්ථා සලසා දීමට ලබාදුන් ඉඩකඩ ද ජනතාවගේ ප්‍රසාදයට හේතුවකි.
ජනතා අපේක්ෂාවන්
ජනතා අපේක්ෂාවන් ඉටුකිරීම රටක පාලකයකුගේ වගකීමයි. එය සෑම ජනාධිපතිවරයකුට පොදු වූ කාර්යභාරයක් වුවද ජනතා බලාපොරොත්තු පාලන බලයට පැමිණි පසු අමතක කර දැමීම සම්බන්ධ උදාහරණ අවශ්‍ය තරමින් අපට ඈත මෑත අතීතය තුළින් මතක් කරගත හැකිය. අතීතයේ 3%ක් වැනි සුළු ප්‍රතිශතයක කැමැත්තක් පැවතිය ද මෙවර ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගය වටා ජනතාව එකතු වූයේ බිඳවැටුණු ආර්ථිකයට, අධ්‍යාපනයට, මානසිකත්වයට සහනයක්, පුනර්ජීවයක් බලාපොරොත්තුවෙනි. මහා දාර්ශනික ප්ලේටෝ පැවසුවාක් මෙන් පුරවැසියාට අවශ්‍යව තිබුණේ ‘ජාතියක් හඬා වැලපෙන විට වීණා නොගසන පාලකයෙකි’ රට, ජාතිය පිළිබඳ දැක්මක්, දර්ශනයක් සහිත ජනාධිපතිවරයෙකි. බුද්ධිමත් පාලකයෙකි. එනිසාම වත්මන් ජනපති අත විශාල වගකීමක් තිබේ. ප්‍රතිපත්ති සම්පාදනය, බිඳවැටුණු ආර්ථිකය ගොඩනැඟීම, අධ්‍යාපනය ආශ්‍රිතව පවතින අර්බුදයන් විසඳාලීම, ආරක්ෂිත සමාජයක්, ගෞරවනීය වෘත්තික ජීවිතයක්, සාධාරණ මිනිස් අනන්‍යතාවක්, සුරක්ෂිත ළමා ලෝකයක්, නිර්මාණශීලී අනාගත පරපුරක්, තෘප්තිමත් තාරුණ්‍යයක්, අර්ථවත් විශ්‍රාම දිවියක්, ප්‍රජාතාන්ත්‍රික සමාජ ක්‍රමයක්, ආහාර සුරක්ෂිතතාවක්, ව්‍යවසායකත්ව ප්‍රවේශයක්, තිරසර කළමනාකරණ්‍යක්, ඩිජිටල් රාජ්‍යකරණයක්, පර්යේෂණ හා සංවර්ධන ප්‍රවේශයක්, නව්‍ය සංචාරක කර්මාන්තයක්, සුරක්ෂිත බලශක්ති කේන්ද්‍රයක්, කාර්යක්ෂම ප්‍රවාහන පද්ධතියක්, ආරක්ෂිත දත්ත පද්ධතියක්, ඵලදායී කළමනාකරණයක්, ගුණාත්මක සේවා නියුක්තියක් තුළින් ලස්සන ජන ජීවිතයක් හා හැකියාවන්, දක්ෂතාවන්ගෙන් පිරි මිනිසුන් සිටින විනයගරුක බව හා ආර්ථික සශ්‍රීකත්වය තුළින් පොහොසත් රටක් ගොඩනැඟීම පදනම් කරගත් ජාතික ජන බලවේගය වටා මිනිසුන්ගේ විශ්වාසය ගොඩනැඟුණි.
ශිෂ්ටසම්පන්න ජන සමාජයක්
නූතන ජනාධිපතිවරයාට බාරගැනීමට සිදුව ඇත්තේ ආර්ථික, සමාජයීය වශයෙන් සමෘද්ධිමත් රටක් නොවේ. එනිසා ඉහත කාර්යයන් සාර්ථක කරගැනීමට ශක්තිමත් කණ්ඩායමක් සමඟ බුද්ධිමත් ගමනක් යාමට ජනාධිපතිවරයාට සිදුවේ. දියුණු මිනිස් සම්පතක් බිහිකිරීම හරහා ශිෂ්ටසම්පන්න ජනසමාජයක් ගොඩනැඟීම අත්‍යවශ්‍යය. සෞඛ්‍යසම්පන්න ජනතාවක් රටකට ප්‍රතිලාභයකි. එනිසාම නිරෝගී, සනීපාරක්ෂක ජීවිතයක් උදාකර දීම, ජවසම්පන්න පුරවැසියකු බිහිකිරීමට අවශ්‍ය මානසික මැදිහත්කරණය සැලසීම, උසස් සංස්කෘතියක් බිහිකිරීම, උරුමයන් සංරක්ෂණය කරමින් අභිමානවත් ඉතිහාසය සංරක්ෂණය කිරීම, නිවැරදි, සමබර තොරතුරු සමාජගත කරන නිදහස් ජනමාධ්‍ය කර්මාන්තයක් බිහිකිරීමට අවශ්‍ය නායකත්ව සැලසුම් ක්‍රියාත්මක කිරීම අවශ්‍යය.
ජාතික සාමගිය ඇතිකිරීමේ අරමුණින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඇතිකිරීම, විනිවිදභාවය, වගවීම සහ කුසලතා මත පත්වීම්, උසස්වීම් ලබාදෙන කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ගොඩනැඟීම, ස්වාධීනව හා කාර්යක්ෂමව යුක්තිය පසිඳලන අධිකරණ ක්‍රියාවලියක් ස්ථාපනය කිරීම, අල්ලස, දූෂණය පිටුදැකීම, මහජන ආරක්ෂාව සුරක්ෂිත කිරීම, බන්ධනාගාරගතවූවන්ට යුක්තිගරුක, මනුෂ්‍යත්වය පාදකකරගත් බන්ධනාගාරයක් ඇතිකිරීම, මතින් තොර රටක් ගොඩනැඟීම ප්‍රමුඛතම කාර්යයක් සේ සැලකීම, ජාත්‍යන්තර සම්බන්ධතා ශක්තිමත් කරගැනීම හා විදේශ ප්‍රතිපත්තීන් ආශ්‍රිත ස්ථාවරයන් ඇතිකිරීම, පුරවැසි ආරක්ෂාව, ස්වෛරීතාව රැකීම තුළින් සුරක්ෂිත රාජ්‍යයක් ගොඩනැඟීම, සියලු ජාතිකත්වයන්ගේ දේශපාලන හවුල්කාරීත්වය තුළින් නොබෙදුණු සහජීවනයකින් හා සංහිඳියාවකින් යුත් ශ්‍රී ලාංකේය ජාතියක් ගොඩනැඟීම ජාතික ජනබලවේග රජයේ මූලික ප්‍රතිපත්තීන් වේ. එම අභියෝගයන් සාර්ථකව ජයගැනීමට අවශ්‍ය මානව හා භෞතික සම්පත් නිසි පරිදි හඳුනා ගැනීම හා කළමනාකරණය තුළින් පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් ඇතිකිරීම ජාතික ජන බලවේගයේ අපේක්ෂාවයි.