නුගේගොඩ පැඟිරිවත්ත පාරේ නිෙවසක පදිංචි නීතිඥවරියකගේ ගෙල තියුණු ආයුධයකින් කපා පලාගොස් බෙන්තර ගඟට පැන දිවි නසා ගැනීමට තැත් කළ පුද්ගලයකු බෙන්තර පොලිස් මුරපොළේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇතැයි මිරිහාන මූලස්ථාන පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හක්මන, පුහුල්වැල්ල, ගැටවත්ත ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි රියැදුරකු බව ද පොලිසිය කියයි.
මෙම පුද්ගලයා 21 දා උදෑසන මන්නයක් රැගෙන නීතිඥවරියගේ නිෙවසට ගොස් ඇයගේ ගෙලෙහි දකුණු පසට පහර දී බරපතළ තුවාල සිදුකොට ඝාතනය කර පලා ගොස් ඇති බවට මූලික විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී තිබුණි.
පසුව සැකකරු එම ස්ථානයෙන් පලාගොස් බෙන්තර ප්‍රදේශයේ පිහිටි ගඟට පැන දිවි නසා ගැනීමට උත්සාහ කර තිබේ. එම අවස්ථාවේදී ඒ බව දුටු පුද්ගලයකු වහාම යාබද පොලිස් මුරපොළට දන්වා දිවි නසා ගැනීම වළකා තිබේ.
මොහු දිවි නසා ගැනීමට උත්සාහ කර ඇත්තේ දහවල් 12.20 පමණය.
පසුව පොලිස් භාරයට ගත් පුද්ගලයා දැඩි මානසික ව්‍යාකූලත්වයකින් හැසිරීම නිසා ඔහු අලුත්ගම පොලිස් ස්ථානයට භාරදී ඇති අතර එහිදී සිදු කළ වැඩිදුර ප්‍රශ්න කිරීමේදී සැකකරු මනුෂ්‍ය ඝාතනයක් සිදුකොට මෙසේ පලා විත් සියදිවි හානි කර ගැනීමට උත්සාහ කර ඇති බවට තොරතුරු අනාවරණය වූ බව පැවැසේ.
සැකකරුගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීමේදි ඔහු පන්නිපිටිය ප්‍රදේශයේ තාවකාලික නිෙවසක පදිංචිව හිඳිමින් මිරිහාන ප්‍රදේශයේ නීතිඥවරියකගේ රියැදුරෙකු ලෙස කලක සිට සේවය කර ඇති බවත්, ඒ කාලය තුළදී ඇය සමඟ අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති බවත් එම සම්බන්ධතාවය නැවැත්වීම නිසා උරණ වී මන්නයක් රැගෙන 21 දා උදෑසන නීතිඥවරියගේ නිෙවසට ගොස් මුළුතැන්ගෙයිදී ඇයගේ ගෙලට පහර දී ඝාතනය කොට පලා ආ බවට තොරතුරු අනාවරණය වූ බව පොලිසිය පවසයි.
ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන සඳහා මිරිහාන මූලස්ථාන පොලිසියට භාරදී තිබේ.
ඝාතනය සඳහා භාවිත කළ මන්නය කාන්තාව වැටී සිටි ස්ථානයේ තිබී පොලිස් භාරයට ගෙන තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ නුගේගොඩ, පැඟිරිවත්ත පාරේ අංක 103/05/6, හි පදිංචි පැඟිරිවත්ත පාර, නුගේගොඩ, මුතු ආතර්ගේ ජයනි ලක්මිණී ද සිල්වා (35) නමැති නීතිඥවරියක බව පොලිසිය කියයි.
සිද්ධිය වූ ස්ථානයට නුගේගොඩ කොට්ඨාසයේ අපරාධ ස්ථාන පරීක්ෂණ ආයතන නිලධාරීන් පැමිණ පරීක්ෂණ ආරම්භ කළ අතර මහේස්ත්‍රාත් පරීක්ෂණය ද සිදු කරන ලදී.
මෙම සැකකරු හා පැවැති අනියම් සම්බන්ධතාවය මීට මාස කිහිපයකට පෙර නැවැත්වීම හේතුවෙන් අවස්ථා කිහිපයකදී සැකකරු මරණකාරියට තර්ජනය කර ඇති අතර ඒ සම්බන්ධයෙන් මිරිහාන පොලිසියේ පැමිණිලි කොට අධිකරණයෙන් දඬුවම් පවා නියම කොට ඇතැයිද පැවැසේ.
අත්අඩංගුවට ගත් සැකකරු 22 දා නුගේගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
සිද්ධිය සම්බන්ධයෙන් මිරිහාන මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මංජුල තුෂාර මහතාගේ උපදෙස් මත ඉදිරි පරීක්ෂණ පවත්වති.