මැතිවරණ රාජකාරී සඳහා මරදාන පොලිස් ස්ථානයෙන් කහතුඩුව පොලිස් ස්ථානයට තාවකාලිකව අනුයුක්ත කර සිටි නිලධාරියකු අනවසරයෙන් පලා ගොස් පුද්ගලයකුගේ ජංගම දුරකතනයක් බලහත්කාරයෙන් කොල්ලකමින් සිටියදී 22 දා අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මරදාන පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරියේ නිරතව සිටි (21200) පොලිස් කොස්තාපල්වරයෙකි.
මෙම නිලධාරියා ඉකුත් 19 දා විශේෂ මැතිවරණ රාජකාරි සඳහා කහතුඩුව පොලිස් ස්ථානයට අනුයුක්ත කර තිබූ අතර 21 දා රාත්‍රියේ පොලිස් ස්ථානයට නොදන්වා මෙසේ අනවසරයෙන් බැහැරට ගොස් 22 දා උදෑසන 08.30ට පමණ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී පුද්ගලයකුගේ ජංගම දුරකතනයක් බලහත්කාරයෙන් කොල්ලකන අවස්ථාවේදී සැකකරු පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති බව පැවසේ.
ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරු ග්‍රෑන්ඩ්පාස් පොලිසිය මඟින් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
විශේෂ රාජකාරී සඳහා පැමිණීමේදී සැකකාර නිලධාරියා භාරව ටී 56 වර්ගයේ ගිනි අවියක්, ඊට යොදන උණ්ඩ 120, කැරලි මර්දන අවස්ථාවලදී භාවිත කරන කුල්ලක් හා මුගුරක් තිබී ඇති අතර එම උපකරණ සමඟ නිල ඇඳුම් කහතුඩුව පොලිස් ස්ථානය භාරයේ ඇති බව පොලිසිය කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් ග්‍රෑන්ඩ්පාස් පොලිසිය පරීක්ෂණ පවත්වයි.