මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවර යාත්රා තුනක් (03) සමඟ ඉන්දීය ධීවරයන් 37ක් ශ්රී ලංකා නාවික හමුදාව පෙරේදා (21) යාපනය, පේදුරුතුඩුවට ඔබ්බෙන්වූ මෙරට මුහුදු ප්රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර තිබේ.
මෙරට මුහුදු සීමාවට ඇතුළු වී අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවර යාත්රා රැසක් උතුරු නාවික විධානය මඟින් නිරීක්ෂණය කර, එම ධීවර යාත්රා මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පලවා හැරීමේ විශේෂ මෙහෙයුමක්, එම විධානයට අයත් වේග ප්රහාරක යාත්රා යොදවා සිදු කෙරිණි. එහිදී යාපනය, පේදුරුතුඩුවට ඔබ්බෙන්වූ මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවර යාත්රා තුනක් (03) සමඟ ඉන්දීය ධීවරයින් 37ක් මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර ඇත.
මෙම මෙහෙයුම් මඟින් නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවර යාත්රා තුන සහ එහි සිටි ඉන්දීය ධීවරයින් 37ක් කන්කසන්තුරය වරාය වෙත රැගෙනවිත් ඇති අතර, ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය, මයිලඩි ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දීමට නියමිතව ඇති බව නාවික හමුදාව පවසයි.
මෙම මෙහෙයුමත් සමඟ 2024 වර්ෂයේ මේ දක්වා සිදු කළ මෙහෙයුම් මඟින් මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවර යාත්රා පනස්තුනක් (53) සහ ඉන්දීය ධීවරයින් තුන්සිය අනූහයදෙනෙකු (396) අත්අඩංගුවට ගෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමු කර ඇති බව නාවික හමුදාව පවසයි.