Home » දෙවැනි මනාපය විශ්වාසදායි ලෙස ගණනය කළා

දෙවැනි මනාපය විශ්වාසදායි ලෙස ගණනය කළා

මැතිවරණ කොමිසමේ සභාපති

by mahesh
September 23, 2024 1:00 am 0 comment

සුභාෂිණී සේනානායක

ඉතිහාසයේ ප්‍රථම වතාවට 2024 ජනාධිපතිවරණයෙන් මෙවර කිසිම අපේක්ෂකයකුට සියයට 50ක පරම බහුතරය ලබාගැනීමට නොහැකිවීම මත දෙවැනි මනාපය ගණනය කිරීමට සිදුවූ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.එල්. රත්නායක මහතා නිල වශයෙන් ඊයේ (22) දැනුම් දෙනු ලැබීය.මෙහිදී ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාට 42%ක ප්‍රතිශතයක් ලබාගැනීමට හැකි වී තිබෙන අතර එමෙන්ම සමගි ජන සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට 32% ප්‍රතිශතයක් ලැබී තිබීම හේතුවෙන් ඔවුන් දෙදෙනා අතර නැවත තරගය පවත්වන බව ද හෙතෙම පැවැසීය. අපේක්ෂකයන් දෙදෙනා වන ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ හැර තෙවනියට වැඩි ඡන්ද ලබා ගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සිට 38 වන අපේක්ෂකයා තෙක් ජනතාව ලබාදී ඇති දෙවන මනාප ගණනනය කිරීම සිදු කෙරිණි. ඒ සම්බන්ධයෙන් කොළඹ රාජකීය විද්‍යාලයේදී අදහස් දක්වමින් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් එම්.එම්.එස්.කේ. බණ්ඩාර මාපා මහතා කියා සිටියේ දෙවන මනාපය ගණනය කිරීම නිලධාරීන් විසින් ඉතාමත් විශ්වසනීය අයුරින් සිදු කරමින් සිටින බවය.

මෙහිදී මැතිවරණ කොමිෂන් සභාව විසින් නිල වශයෙන් දෙවන මනාපය ගණනය කිරීම ආරම්භ කිරීමට පැවසීමට පෙර ඇතැම් ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවල ගණන් කිරීමේ නිලධාරීන් විසින් දෙවන මනාපය ගණනය කිරීම සිදු කර ඇති බවට පැමිණිල්ලක් මැතිවරණ කොමිසම වෙත සමගි ජන සන්ධානයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා සහ පාඨලී චම්පික රණවක මහතා ප්‍රමුඛ පිරිසක් විසින් සිදු කර තිබුණි. ඒ පිළිබඳව සොයා බැලූ මැතිවරණ කොමිෂන් සභාව එම ගණන් කිරීම් අවලංගු කර නැවත මුල සිට දෙවන මනාපය ගණනය කිරීමට නියෝග කර තිබිණි. එමෙන්ම ඊයේ කොළඹ රාජකීය විදුහලේදී සමගි ජන බලවේගයේ දෙපිරිසක් අතර ගැටුමක් ඇතිව තිබුණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT