ශ්‍රී ලංකා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය විසින් අධ්‍යාපන අමාත්‍යාංශය වෙතින් කරන ලද ඉල්ලීමක ප්‍රතිඵලයක් වශයෙන් 2004 වර්ෂයේ සිට සෑම වර්ෂයකම ඔක්තෝබර් මාසය ජාතික කියවීමේ මාසය ලෙස නම් කර ඇත.එයට සමගාමීව සමස්ත ප්‍රජාවගේ කියවීමේ කුසලතාව ප්‍රවර්ධනය කිරීම උදෙසා පුස්තකාල ක්‍රියාත්මක වීම යුගයේ අවශ්‍යතාවයකි. කියවීම උදෙසා පාඨක ප්‍රජාවට අවශ්‍ය පුස්තකාල ද්‍රව්‍ය වෙත නිදහසේ පිවිසීමට අවකාශය සලසන අධ්‍යාපනික ආයතනය වනුයේ පුස්තකාලයයි. එදා මෙදා තුර පාඨක ප්‍රජාවට අවශ්‍ය කියවීම් ද්‍රව්‍ය ලබාදෙමින් ඔවුනගේ බුද්ධියේ නිම් වළලු පුළුල් කිරීමට පුස්තකාල මඟින් ඉටු වනුයේ නොමඳ පිටිවහලකි. කියවීම හා පුස්තකාලය අතර පවතිනුයේ අවියෝජනීය සබඳතාවකි. ජාතික කියවීම් මාසය යනු පුස්තකාල ක්ෂේත්‍රයේ වසන්ත සමයයි. කියවීම ප්‍රවර්ධනය උදෙසා පුස්තකාලයක කාර්ය භාරය හඳුනා ගැනීමේදී කියවීම යනු කුමක් දැයි අර්ථ නිරූපණය මෙහිදී වැදගත් වේ. කියවීම මුද්‍රිත මාධ්‍යයෙන් මෙන්ම විද්‍යුත් මාධ්‍යයෙන්ද කළ හැකි අතර එය සක්‍රීය ක්‍රියාවලියකි. ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය මඟින් මනස භාවිතයට හුරු පුරුදු කළ ද පොතපත කියවීමෙන් මිනිසා තාර්කිකව ක්‍රියා කරන ක්‍රියාශීලි පුද්ගලයකු බවට පත්කරයි. අමෙරිකානු ජාතික රචකයකු සහ කාටූන් ශිල්පියකු වන Dr. Seuss Quotes ට අනුව “වැඩියෙන් කියවූ විට වැඩියෙන් දැනගත හැකි අතර,බොහෝ දේ ඉගෙනීම මඟින් බොහෝ ප්‍රදේශවලට ගමන් කළ හැකි ” බවයි. කියවීම මිනිසා සමඟ බද්ධ වූ දෙයකි. ඒ බව,මර්කස් ටියුලියස් පවසනුයේ ”පොත්පත් නැති නිවසක් ආත්මයක් නැති ශරීරයක් වැනිය ”යනුවෙනි.
කියවීම උදෙසා ජාති භේද, කුල භේද, වයස් භේද යනාදි කිසිවක් බාධකයක් නොවේ. සෑම මිනිසෙකුම බොහෝ සාර්ථකත්වයක් ලබාගන්නේ කියවීම තුළිනි. වික්ටර් හියුගෝ විසින් ඉදිරිපත් කරන “ ගිනි දැල්ලට එළිය මෙන් ඉගෙනීමට කියවීම ආලෝකයකි. සෑම අක්ෂරයක්ම ගිනි පුපුරක් සේ දැල්වෙන්නේය” ප්‍රකාශනය තුළින් කියවීම වත්මන් ලෝකයට යථාර්ථයක් වී ඇති බවට පසක් වේ. කියවීම මිනිසා සම්පූර්ණ කරයි යන්න අතීතයට, වර්තමානයට සහ අනාගතයට බලපාන නොවෙනස් කතු වැකියකි. සිග්මන් ප්‍රොයිඩ් මනෝවිද්‍යාඥයා පවසනුයේ, මානසික චෛතසිකයන් පාලනයට කියවීම ඉතා වැදගත් ඖෂධයක් බවයි.
සෑම පුස්තකාලයක්ම දැනුම සපයන මධ්‍යස්ථානයක් වුවද, මහජන පුස්තකාල සුවිශේෂත්වයක් දරනුයේ එය ළමා අවධියේ සිටම වයෝවෘද්ධ පුද්ගලයා දක්වා සේවාව සපයන්නක් බැවිනි. එවන් මහජන පුස්තකාලයකින් කියවීම ප්‍රවර්ධනය උදෙසා කළයුතු වැඩ කටයුතු රාශියකි. මන්ද ප්‍රදේශ වශයෙන් ඒකරාශි වන ජන සමූහයකට එක් පියස්සක් යට සිට කියවීම, ලිවීම, කල්පනාකිරීම, තීරණ ගැනීම, නිර්මාණය කිරීම, විනෝදාස්වාදය හා දැනුම ලබා ගැනීම සඳහා කේන්ද්‍රස්ථානය වනුයේ, මහජන පුස්තකාලයයි. දැනුම සඳහා වූ ප්‍රාදේශීය දොරටුවක් වූ මහජන පුස්තකාල පෞද්ගලික මෙන්ම සමාජ කණ්ඩායම්වලට යාවජීව ඉගෙනුම, ස්වාධීන තීරණ ගැනීම සහ සංස්කෘතික දියුණුව සදහා වූ මූලික පහසුකම් සපයා දෙයි. එහිදී පුස්තකාලයාධිපතිවරු වශයෙන් අප සාම්ප්‍රදායිකත්වය අභිභවා පාඨක අභිප්‍රේරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම කාලෝචිත වේ.
යුනෙස්කෝ ප්‍රඥප්තියට අනුව “මහජන පුස්තකාල මානව සංහතියේ සාමය හා අධ්‍යාත්මික අභිවෘද්ධිය වර්ධනය කිරීම පිණිස මිනිසාගේ මනස යථා පරිදි හැඩගැස්විය යුතුය” යන්න පදනම් කරගෙන බිහිවූවකි. එසේනම් මහජන පුස්තකාලයාධිපතිවරයෙකු වශයෙන් වෙනස්වන ලෝකයත් සමග සාම්ප්‍රදායිකත්වය අභිභවා පාඨක අභිප්‍රේරණ වැඩසටහන් ක්‍රියාවට නැංවිය යුතුයි.කියවීම ප්‍රවර්ධනය කිරීම, සමාජයේ විවිධ පිරිස්හි වගකීමකි. විශේෂයෙන් පවුල් පසුබිම, ජන මාධ්‍ය, රජය සහ පුස්තකාල සඳහා වන වගකීම සුළුපටු නොවේ. ඒ අතර මහජන පුස්තකාල සුවිශේෂත්වයක් දරනුයේ, සමකාලීන සමාජය පිළිබද අවබෝධ කර ගනිමින් ස්වකීය දැනුම ප්‍රවර්ධනය කර, විද්‍යාත්මක, කලාත්මක දියුණුවත් සමඟ පෙරට ඇදී යන සමාජයේ පෙරගමන්කරුවා වීමට කුඩා දරුවාගේ සිට වයෝවෘධ පුද්ගලයා දක්වා අවියෝජනීය සබඳතාවක් දක්වන ආයතනයක් වන බැවිනි.
කියවීමේ පුරුද්ද නිවස තුළින්ම ඇරඹිය යුත්තකි. ඒ සඳහා ප්‍රබල බලපෑමක් කිරීමේ හැකියාව පුස්තකාලයාධිපතිවරු සතුයි. විශේෂයෙන් දෙමාපියන් විසින් කුඩා දරුවන්ව මේ සඳහා පොලඹාවාලිය යුතුය. මාර්ගෝපදේශය සැපයිම පුස්තකාලයාධිපතිවරු වන අපගේ යුතුකමකි. දරුවන්ට පුස්තකාලය නැරඹීම සඳහා අවස්ථාව ලබා දීම හා පුස්තකාලය පිළිබඳ,පොත් පිළිබඳ, එමගින් ලැබෙන ඵල ප්‍රයෝජන පිළිබඳ විස්තර කර දීමෙන් කුඩා මනස තුළ කියවීම යනු කුමක්ද? යන්න රෝපණය කිරීමට අප වග බලා ගත යුතුය. මව්පියන් හා එක්ව තම නිවස තුළද කුඩා කියවීම් ස්ථානයක් ඇතිකරලීමට උනන්දු කළ යුතුයි. ළමයින් හා එක්ව සිටින විට දෙමව්පියන්ද පොත පත කියවීමට පුරුදු වීමෙන් දරුවා ඔවුන්ව අනුකරණය කරයි. එය කුඩා කළ සිටම දරුවන් පොතපතට යොමු කර වීමේ එක් ප්‍රයත්නයකි.
එමෙන්ම පුස්තකාල මඟින් කියවීමේ සමාජ පිහිටුවිය හැකිය. වැඩිහිටි, තරුණ සහ ළමා ලෙස ඛණ්ඩනය කර විවිධ කතුවරු සහ පොත් පිළබඳ සාකච්ඡාවට බඳුන් කළ හැකිය. විචාර ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දිය හැකිය. ඒ පිළිබද පුස්තකාල සතියක් පැවැත්වීමට පුළුවන. එවිට නිතැනින්ම පොත් කියවීමට හුරුවක් ඔවුන් තුළ ඇතිවේ. පොත් කියවිමට ආශාව ඇති නමුත් පුස්තකාල වෙත ප්‍රවේශ විය නොහැකි පාඨකයන් උදෙසා ජංගම සේවා ක්‍රියාත්මක කළ හැකියි. නිදසුන් : වැඩිහිටි නිවාස, ළමා නිවාස, බන්ධනාගාර, රෝහල්, සරණාගත කදවුරු, දුෂ්කර ගම්මාන
කලාපීය හෝ කොට්ඨාස මට්ටමින් නවක ලේඛක ලේඛිකාවන් උදෙසා ඔවුනගේ කෘති එළි දැක්වීමට අවස්ථාව සැලසීමත් ඹවුන්ව අභිප්‍රේරණය කිරීම උදෙසා නිර්මාණාත්මක කෘතිය, ජනප්‍රියම කෘතිය වැනි වවිධ සංකල්ප ඔස්සේ තරග සංවිධානය කළ හැකිය. කියවීමේ ව්‍යාපෘති ඇති කිරීම, වැඩමුළු සංවිධානය කිරීම, සම්මන්ත්‍රණ පැවැත්වීම, ග්‍රාමීය මට්ටමින් පුස්තකාල ඇති කිරීමට යෞවන සමාජ, වැඩිහිටි සමාජ හා ළමා සමාජ ආදියට සහය ලබාදීම හා අත්පත්‍රිකා බෙදා හැරීම තුළින් කියවීම ප්‍රවර්ධනයට ක්‍රියා කිරීම. කියවීම පිළිබඳ විවිධ තරග සංවිධානය කිරීම තුළින් එනම්, ගද්‍ය රචනා, පද්‍ය රචනා, විචාර, පොතක සාරාංශකරණය, පොතක සිතුවිල්ල චිත්‍රයට නැගීම,චි ත්‍ර බලා කථාව නිරූපණය, කථික තරග, නව ග්‍රන්ථකරණය සහ පෝස්ටර් තරග යනාදි විවිධ තේමාවන් ඔස්සේ තරග වැදීමට අවස්ථාව ලබාදීම ඔවුන්ගේ කියවීම ප්‍රවර්ධනයට ඉවහල් වේ.
මීට අමතරව මහජන පුස්තකාල මඟින් කථා කියාදීමේ පැයක් සංවිධානය කළ හැකිය. බටහිර ලෝකයේ මහජන පුස්තකාලවල මෙය දැනටමත් ක්‍රියාත්මක වේ. Hillsboro public library හි එය ක්‍රියාත්මක වන බව hillsborolibrary.org/news-lib-events/library –story-hour.ics වෙබ් අඩවිය පරිශීලනයෙන් දැකගත හැකිය. මෙය අප රට තුළද කියවීම ප්‍රවර්ධනය උදෙසා ක්‍රියාත්මක කළ හැකිය.
කියවීම ප්‍රවර්ධනය උදෙසා මුද්‍රිත මාධ්‍ය පමණක් නොව විද්‍යුත් මාධ්‍යයද, වත්මන් තාක්ෂණික ලෝකයේ බහුලව භාවිත කළ හැකිය. පුස්තකාලය සතු දැනුම් සම්භාරය අපට විද්‍යුත් මාධ්‍ය තුළින්ද ප්‍රචාරණය කළ හැකි නම් එය සේවාවේ කාර්යක්ෂමතාවයට ඉවහල් වේ. වර්තමානයේ මිල අධික ශාස්ත්‍රීය ප්‍රකාශන විශාල ප්‍රමාණයක් පළ කෙරෙනුයේ වාණිජ ප්‍රකාශන වශයෙනි. ඒ සඳහා අන්තර්ජාලය ඔස්සේ ප්‍රවේශ වීමට විශාල මුදලක් ගෙවීමට සිදුවේ. එම නිසා විවෘත ප්‍රවේශ ප්‍රකාශන ලෙස පළ කෙරෙන ශාස්ත්‍රීය ප්‍රකාශන පරිහරණයට පාඨකයාට ඉඩ ප්‍රස්ථාව ලබාදිය හැකිය. විවෘත ප්‍රවේශ එළඹුම( Open Access Initiative-OAI)මගින් විශ්වවිද්‍යාල ආදී නව දැනුම නිපදවන ආයතනවල ප්‍රකාශිත ලිපි ආදිය පොදු පරිහරණයට ඉඩ ලබාදී ඇත. MIT ආයතනයෙන් සම්පාදිත Dspace, GERN ආයතනයෙන් සම්පාදිත CDsware,සදම්ප්ටන් විශ්වවිද්‍යාලයෙන් සම්පාදිත Eprints වැනි මෘදුකාංග එවන් පොදු පරිහරණයට ඉඩ ලබාදී ඇති මෘදුකාංග වේ. මෙවන් එළඹුම් තුළින් නව දැනුම සොයා යාමට, විශ්වීය තොරතුරු වෙත ප්‍රවේශයට පාඨකයාව දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කළ හැකිය.
මෙහිදී පුස්තකාලය තුළ විද්‍යුත් කියවීමකට අවශ්‍ය උපාංග සහිත ස්ථානයක් සැලසුම් කළ හැකිය. සමාජ සුබසාධන ආයතනයක් වශයෙන් නොමිලේ ඒ සඳහා අවස්ථාව ලබාදීම අප සතු යුතුකමකි. එමෙන්ම වර්තමානයේ ජනප්‍රිය සමාජ මාධ්‍ය වන face book, whatsapp, youtube වැනි සමාජ මාධ්‍ය හරහා පාඨකයා කියවීම වෙත පෙලඹවීමේ අභිප්‍රේරණමය වැඩසටහන් ක්‍රියාත්මක කළ හැකිය. විශේෂයෙන් ප්‍රදේශයේ පාසල් හා එක්ව දැයේ දුවා දරුවන්ගේ අධ්‍යාපනය උදෙසා කියවීම කෙතරම් වැදගත් වන්නේ දැයි පෙන්වාදිය හැකිය. ඉෆ්ලා සංවිධානය පෙන්වා දෙන පරිදි කියවීමේ පුරුද්ද වර්ධනය වීමට විවිධ ඉදිරිපත් කිරීම් සුවිශේෂි වන බව පෙන්වාදෙයි.
මේ ආදී වශයෙන් පාඨකයන් තුළ කියවීම ප්‍රවර්ධනය කිරීමෙහිලා මහජන පුස්තකාලයකින් සිදු විය යුතු කාර්යයභාරය රාශියක් ඇති බව පැහැදිලි වේ. 2024 වර්ෂයේ කියවීමේ මාසයේ තේමා පාඨය වන “ ලෝකය ජයගෙන ඇත්තේ කියවන මිනිසුන්ය” යන්න සාක්ෂාත් කරලීමෙහිලා සක්‍රීයව ක්‍රියාකිරීම පුස්තකාල වෘත්තිකයන් වශයෙන් අප සැමගේ වගකීමකි.
එම්.ආර්. නිර්මලා
ශාස්ත්‍රවේදී (විශේෂ) පුස්තකාල හා
විඥාපන විද්‍යාව,
කැලණිය විශ්වවිද්‍යාලය