Home » රට අනුරට

රට අනුරට

by mahesh
September 23, 2024 1:00 am 0 comment

ලැබී ඇති ජයග්‍රාහී සංඥාව වනාහි මෙතුවක් කල් පැවති දේශපාලන ලෝකය දෙදරවා හරින්නකි. තට්ටු මාරු දේශපාලනය බිඳ හෙළීම සඳහා වන ප්‍රයාම ගණනාවක් ලංකා දේශපාලනයේ බිහිවූයේය. ඒ සියල්ලටම අත්වූ පොදු ඉරණම සාරි පොටේ, සාටකයේ හෝ කෝට් බෑයේ එල්ලීමය. මේ ආකාරයෙන් ගලා ආ තුන් වෙනි බලවේගයේ පරිණාමය සඳහා සරල සූත්‍රයක් විය. මතුවීම, සන්ධානගතවීම සහ නැතිවීම යන ඒ ආකාරය ඔස්සේ පැරණි වමට ආගිය අතක් නැති විය.

1965 වසරේ වෙසක් පෝයදා ජවිපෙ පිහිටුවන්නේ චක්‍රය අසුනොවනු පිණිස වුවද ජවිපෙද කිහිපවාරයක් මේ චක්‍රය සඳහා අසුවන්නේය. ඒ සෑම විටම නව ආකාරයකින් මතු වූ හෙයින් ජවිපෙට පැරණි වමේ ඉරණම ඉක්මවා ගිය ගමනක් සඳහා කඩිනමින් යෑමේ හැකියාව ලැබුණි. නිකුත් වූ ප්‍රතිඵලය වන්නේ, ජවිපෙ සිය ගමන නවතාවයකින් ගොඩනඟමින් සිදු කළ දේශපාලන මෙහෙයුමය.

“අප වේලාසනින් අවදි වුණෙමු. නමුත් අප වේලාසනින් අවදි වූ පමණින් වේලාසනින් හිරු පායන්නේ නැත. නමුත් යම් දිනක වේලාසනින් හිරු පායද්දී අප අවදි වී සිටීම වැදගත් වනු ඇත.” යැයි රෝහණ විජේවීර සිදු කළ ප්‍රකාශය සත්‍ය වී ඇත්තේ ඔහු ගොඩනැඟූ ව්‍යාපාරයට වසර හැටනවයක් පිරෙන සමයේය. අතීතයේ පසු කරන ලද දේශපාලන අවස්ථා සමඟ සහ නවීන ලෝකයේ මුසුවීම අරබයා ජවිපෙ නව දේශපාලන රටාවක් සඳහා අනුගත වන්නේ ජාතික ජන බලවේගය ලෙසය. එය හුදු වාම ව්‍යාපාරයක්මැ නොව, පැවති දේශපාලනයේ දුර්ගුණ සඳහා පිළිතුරු දීමේ අවශ්‍යතාවය ඇති මහජන ව්‍යාපාරයක් විය. අනුර කුමාර දිසානායක වෙත ජවිපෙ නායක කොඩිය භාර වීමත් සමඟ එවන් පුළුල් ව්‍යාපාරයක් සඳහා යෑමේ අවශ්‍යතාවය ඔහු දුටුවේය. මූලික අඩිතාලම මත්තේ පමණක් අමු අමුවේ සිටගෙන නොසිට, ජනතා හඬ සඳහා ඔහු සිය වේදිකාව පුළුල් කර ගැනීමේ ව්‍යායාමය අද පල දරා ඇත්තේය.

මේ වූ කලී වමේ නැගිටීමකි. සියල්ලෝ දකුණට කඳවුරු බැඳගත් කළ වමට ආගිය අතක් නැතිවිය. පෑගෙන පීඩිත මිනිසාගේ හඬට, කස තැළුම් මිසක කන්දීමක් හෝ නොවීය. ගොවි කම්කරු ආදී පන්ති ස්ථරායනය සඳහා තිබුණේ සහනාධාර විසඳුම මිස, ඔවුනගේ නැඟිටීම සඳහා වූ අතදීම නොවේ. බදු ආදී සහන, සිය පන්තියේ මිතුරන් වෙත ලබාදී, ජනසවිය, සමෘද්ධිය, අස්වැසුම ආදියෙන් ජනතාව තවත් වටයකින් සිය දේශපාලන යන්ත්‍රණයේ දාසකමට ගත්තා මිස, ඒ ජනී ජනයාගේ ජීවිත සඳහා වගකීමේ සහතිකයක් පාලන තන්ත්‍රයෙන් ලැබුණේ නැත. මේ නිකුත් වන්නේ එහි ප්‍රතිඵලයය.

විප්ලවයෙන් ගොඩනඟන ලද වාම ආණ්ඩු ඉතිහාසය සඳහා ඡන්දය එක්වන්නේ, චිලි දේශයෙන්ය. 1950 දශකය ධනේශ්වර උත්පාතයේ මහඟු සමය විය. ගතානුගතික දේශපාලන ඇලිය සහ ලිබරල්වාදීන් මාරුවෙන් මාරුවට බලයට පත් වෙමින් සිටියේය. ඒ අර්ථයෙන් ගත් කළ ලෝකය පුරාම සිදුව තිබුණේ තට්ටු මාරුවය. 1961 සිට කියුබානු විප්ලවයේ ජයග්‍රහණයේ ප්‍රතිඵලයක් ලෙස සහ ලෝකයේ බොහෝ රටවල යටත්විජිත විරෝධී අරගලයේ ප්‍රතිඵලයක් ලෙස චිලියේ ද සමාජ හා දේශපාලන අරගලය උත්සන්න විය. සාම්ප්‍රදායික මතවාද දරන ලද චිලියේ ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය මේ ආකාරයේ විප්ලවීය නැඟිටීම් සඳහා භීතිය මවන ලද්දේය. 1964 දී එඩුවාඩෝ ෆ්‍රී මොන්ටාල්වා චිලියේ ජනාධිපති පුටුවේ වාඩිලා ගන්නේ, ඒ ආකාරයටය. චිලියේ, ගම්මාන මේ උප්පරවැට්ටිය හඳුනා ගත්තේය. ‘නිදහසේ විප්ලවය’ සඳහා වන සටන් පාඨය ගමෙන් මතුවී එන සඳ ඒ සඳහා වන නායකයා බවට පත් වන්නේ සැල්වදෝර් ඇලෙන්ඩේය. ලතින් අ‍ෙමරිකාව පුරා කස්ත්‍රෝගේ ආශ්වාදය හමා යෑමේ ප්‍රතිඵලය චිලිය ද ආඝ්‍රාණය කළේ හෙයින්, 1970 නොවැම්බර් තුන් වෙනිදා සැල්වදෝර් ඇලෙන්ඩේ චිලියේ ජනාධිපති බවට පත්විය. විප්ලවයෙන් බලය ලබාගත් සමාජවාදී ලෝකය, මැතිවරණයකින් පළමුවරට බලය ලබා ගත්තේ ඒ ආකාරයටය.

මේ වනාහි ඒ ආකාරයේ පළමු ලාංකේය අත්දැකීමය. අනුර කුමාර දිසානායක ලබන ලද ජයග්‍රහණය මුළුමනින්ම සමාජවාදයේ ජයකි. මධ්‍යම පාන්තික විසල් ඡන්ද ප්‍රමාණයක් ලබා ගනිමින් සහ ගම් නියම්ගම් හි පීඩිත ජනයාගේ අපේක්ෂාව බවට පත්වෙමින් මාලිමාව අද සිට මේ දේශයට දිශාව පෙන්වනවා ඇත්තේය.

ආපසු බැලීම් සහ සිහි කැඳවීම් සඳහා කාලය වැය කළ යුත්තේ නැත. සියයට තුන ලෙස ගර්හාවට පාත්‍ර වූ දේශපාලන ව්‍යාපාරයක් එක්වරම ජනතා පැතුමක් විකසිත කළේ උඩ සිට පහළට නොවේ. ජන බලවේගයෙන් ඒ සඳහා මාවත විවර කර දුන්නේය. අද ජනාධිපති ලෙස දිවුරුම් දෙන අනුර කුමාර දිසානායක මෙතැන් සිට රටට ජයග්‍රාහී දිසාව පෙන්වන ‘මාලිමාව’ වෙනවා ඇත.

මේ නව ආරක වාමාංශික ගතිකයකි. එය සැරදේවා! යන්න මේ රටේ සුවහස් ජනතා පැතුමය. අදින් උදාවන ලෝකය දැනටමත් ඉතිහාසගතවී හමාරය. අනුර කුමාර දිසානායක යනු මේ රටේ ගැමි පරපුරේ නියෝජනයකි. තඹුත්තේගම ගොවි පවුලක දරුවෙක්, මේ ආකාරයට ඉහළ සමාජ ස්ථරය දෙදරවා හරින්නේ, සමාජවාදය විසින් පෙන්වා දෙන ලද මාවත ඔස්සේය. මේ රටේ දුක් විඳින ජනයාගේ කතාව අද සිට ඔහුගේ දෑතට භාර වන්නේය. අලංකාරවාදයේ, ඉහළ පදම යොදා මේ ජයග්‍රහණය වර්ණනා කිරීමට මේ තීරුව නොයන්නේය. සාධනීය විවේචනය ආදියෙන් මේ මාවත සවිබල ගැන්වීම, එම ව්‍යාපාරයේ ද අපේක්ෂා හෙයින් ඒ පිළිවෙතෙන්, මේ රට අද සිට ඉදිරිය බලා ඇදෙනවා ඇත.

මේ දේශය පින්බරය; මහරු සම්පතින් සමලංකෘතය. ඒ සියල්ල සඳහා නායකත්වයේ ඉනිම ක්‍රීඩා කරන්නේ අද දිවුරුම් දෙන ජනාධිපති අනුර කුමාර දිසානායකය. මෙතැන් සිට රටේ කතාවේ අලුත් පිටුවක් නොව රටට අලුත් කතාවක් ලියැවෙන යුගයක් නිර්මාණය වෙනවා ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT