Home » නව ජනපතිට රටවල් රැසකින් සුබ පැතුම්

නව ජනපතිට රටවල් රැසකින් සුබ පැතුම්

by chanaka
September 23, 2024 12:24 pm 0 comment

2024 ජනාධිපතිවරණ ඡන්ද විමසීමෙන් වැඩි ඡන්ද ලබා ගනිමින් ජයග්‍රහණය කළ අනුර කුමාර දිසානායක මහතාට දේශපාලනඥයන් ඇතුළු බොහෝ දෙනකු සුබපැතුම් එක් කර තිබේ.

මෙරට ඉන්දියානු මහකොමසාරිස් සන්තොෂ් ජා මහතා නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වු අනුර කුමාර දිසානායක හමුවී තිබේ.

ඊයේ (22) රාත්‍රීයේ මෙම හමුව සිදුවු බවයි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය සඳහන් කළේය.

ඉන්දීය මහකොමසාරිස්වරයා විසින් එහිදී තේරි පත්වු ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සුභාශිංෂන පිරිනමා තිබේ.

මෙරට ශිෂ්ඨාචාරයේ නිවුන් සහෝදරයා වශයෙන් දෙරටේ ජනතාවගේ සෞභාග්‍ය උදෙසා පවතින සබඳතා තව දුරටත් පුළුල් කිරීමට කටයුතු කරන බව එම හමුවේ දී ඉන්දීය මහකොමසාරිස් සන්තොෂ් ජා මහතා ප්‍රකාශ කර තිබේ.

මේ අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ද මෙරට නව ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සුබපැතුම් එක්කර තිබේ.

සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් නරේන්ද්‍ර මෝදි මහතා ප්‍රකාශ කර ඇත්තේ දෙරට අතර පවතින සහයෝගීතාව තව දුරටත් ශක්තිමත් කිරීම සඳහා සමීපව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි.

“ශ්‍රී ලංකා ජනාධිපතිවරණයේදී ඔබතුමා ලබා ගත් ජයග්‍රහණය සම්බන්ධයෙන් සුභාශිංසන! ඉන්දියාවේ අසල්වැසියා ප්‍රථමයෙන් සහ SAGAR යන දැක්ම තුළ ශ්‍රී ලංකාවට විශේෂ ස්ථානයක් හිමි වේ. අපගේ ජනතාවගේ සහ සමස්ත කලාපයේ යහපත උදෙසා අපගේ බහුවිධ සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ඔබතුමා සමඟ සමීපව කටයුතු කිරීමට අපේක්ෂා කරමි” යනුවෙන් අග්‍රාමාත්‍යතුමා ස‍ඳහන් කර ඇත.

මේ අතර මෙරට නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වු අනුර කුමාර දිසානායක මහතාට අමෙරිකා එක්සත් ජනපදය සිය සුභාශිංසන පිරිනමා තිබේ.

ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජුලී චන්ග් සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ දෙරට අතර ඇති ශක්තිමත් හවුල්කාරීත්වය අගය කරන බවයි.

පොදු ප්‍රමුඛතා සම්බන්ධයෙන් එක්ව වැඩකිරීමට සුදානම් බව ද ජුලී චන්ග් මහත්මිය ප්‍රකාශ කර තිබේ.

මේ අතර මෙරට ජපාන තානාපති මිෂුකෝෂි හිඩේකි ද නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබපැතුම් එක්කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ජපාන තානාපතිවරයා පවසන්නේ තමන් ඇතුලු ජපාන රජය දෙරට අතර පවතින සහයෝගීතාව ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වන බවය.

මේ අතර මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිෂු මහතා ද අනුර කුමාර දිසානායක මහතාට සිය සුබ පැතුම් එක්කර ඇත.

සමීප අසල්වැසියෙකු ලෙස මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර ඓතිහාසික මිත්‍රත්වය ශක්තිමත් කිරීම සඳහා එක්ව කටයුතු කිරීමට සුදානම් බව මාලදිවයින් ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.

මේ අතර පාකිස්ථාන අග්‍රාමාත්‍ය ශෙබාස් ශරීෆ් මහතා ද සිය සුබ පැතුම් එක්කර තිබේ.

ජනාධිපතිවරණයේ ලැබු ජයග්‍රහණය පිළිබඳව අවංකව තමන් සුබ පැතුම් එක්කරන බව සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් පකිස්තාන අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT