පොලොන්නරුව, මැදිරිගිරිය පොලිස් වසමේ පිහිටි දිග්ගල්පුර ප්‍රදේශයේ පවත්වාගෙන යන පෞද්ගලික ගල් වැඩපොළක නවතා තිබූ එම ගල් වැඩපොළට අයත් යන්ත්‍රෝපකරණ 3කට පෙරේදා (19) රාත්‍රියේ නාඳුනන පුද්ගලයන් තිදෙනකු විසින් ගිනි තබා විනාශ කර එහි ආරක්ෂක නිලධාරියාට පහරදී තුවාල සිදු කර ඇති බව මැදිරිගිරිය පොලිසිය පැවසීය.
ගිනි තැබීමෙන් අනතුරුව ගිනි තැබීම සිදු කළ පුද්ගලයන් ආරක්ෂක නිලධාරියා ගසක බැඳ පහරදී පලාගොස් ඇත. රාත්‍රිය එළිවනතුරු එම ආරක්ෂක නිලධාරියා දැඩි වේදනාවෙන් කෑගසා ඇති අතර, එම ගල් වැඩපොළ අසලින් ගමන් ගත් පුද්ගලයකු ගල් වැඩපොළේ හිමිකරුට ඒ පිළිබඳ දැනුම්වත් කිරීමෙන් අනතුරුව තුවාලකරු ප්‍රතිකාර සඳහා මැදිරිගිරිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මේ පිළිබඳව මැදිරිගිරිය පොලිසියට පැමිණිලි කර ඇත.
මෙලෙස ගිනි තබා ඇත්තේ එම ගල් වැඩපොළට අයත් එක්ස්කැවේටර් යන්ත්‍ර 2ක් හා ගල් විදීම සඳහා යොදාගන්නා ලද යන්ත්‍රයක් බව ඒ පිළිබඳ පරීක්ෂණ පවත්වන මැදිරිගිරිය පොලිසිය පවසයි. ගිනි තැබීමෙන් යන්ත්‍රෝපකරණවලට දැඩි හානි සිදුව ඇති අතර, ප්‍රහාරයට ලක්වූ පුද්ගලයාගේ තත්ත්වය තරමක් අසාධ්‍ය බව රෝහල් ප්රකාශයකයකු අප කළ විමසීමකදී සඳහන් කළේය. එම ගල් වැඩපොළ අංක 2 දිග්ගල්පුර, මැදිරිගිරිය ලිපිනයේ පදිංචි ඩබ්ලිව්. සුසන්ත වැලිවිට යන පුද්ගලයාට අයත් එකක් බව පොලිසිය සඳහන් කරයි. මෙම ගිනි තැබීම හා පහරදීමට නාඳුනන පුද්ගලයන් තිදෙනකු පැමිණ තිබෙන බව පහරකෑමට ලක්වූ පුද්ගලයා පොලිසියට පවසා තිබේ. පොලිසිය පවසන්නේ, මෙය පෞද්ගලික ආරවුලක් මත සිදු කළ ගිනි තැබීමක් හා පහරදීමක් ද එසේ නොමැති නම් දේශපාලන ආරවුලක් මත සිදු කළ දෙයක් ද යන්න පිළිබඳව මැදිරිගිරිය පොලිසිය පරීක්ෂණ පවත්වන බවයි.
පොලොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස අධිකාරි නිශාන් ද සිල්වා මහතාගේ උපදෙස් පරිදි මැදිරිගිරිය පොලිසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.