ඉදිරි දින කිහිපය තුළදී මැතිවරණ නීති උල්ලංඝනය කරන පුද්ගලයන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බව මාතලේ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරි තේජානි තිලකරත්න මහත්මිය සඳහන් කළාය.
මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඊයේ (19) පැවති මාධ්‍ය හමුවකදී ඇය මේ බව කියා සිටි අතර, මාතලේ දිස්ත්‍රික්කයේ ඡන්ද විමසීමේ කටයුතු සඳහා සියල්ල සූදානම් බව ද ඇය වැඩිදුරටත් පැවසුවාය. මාතලේ දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 429,991 දෙනකු මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇති අතර නවකයන් 20,392ක් ද මෙවර ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇති බව තේරීම් භාර නිලධාරිනිය කියා සිටියාය. ඇය වැඩිදුරටත් කියා සිටියේ, මධ්‍යස්ථාන 330කදී ඡන්ද විමසීමේ කටයුතු සිදු කෙරෙන අතර නිලධාරීන් 3,487 දෙනකු මැතිවරණ රාජකාරි සඳහා යොදවා ඇති බවයි. හෙට (21) උදේ 7.00ට ඡන්ද විමසීමේ කටයුතු ආරම්භ කර පස්වරු 4.00ට ඡන්ද විමසීමේ කටයුතු අවසන් කරන අතර, මධ්‍යස්ථාන 14කදී තැපැල් ඡන්ද ගණන් කිරීම සිදු වන බවත්, අනෙකුත් ඡන්ද ගණනය කිරීම් මධ්‍යස්ථාන 28ක දී සිදු කිරීමට නියමිත බවත් තේරීම් භාර නිලධාරිනිය පැවසුවාය.
මේ අතර, ඊයේ (19) වන විට ඡන්ද පැමිණිලි 196ක් ලැබී තිබුණි. බරපතළගණයේ පැමිණිලි කිසිවක් මේ දක්වා වාර්තා වී නොමැති අතර, සමස්තයක් වශයෙන් දිස්ත්‍රික්කය පුරා සාමකාමී වාතාවරණයක් පවතින බව ද පැවසූ තේජානි තිලකරත්න මහත්මිය, ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 1,650ක් යොදවා ඇති බව ද කියා සිටියාය.