කොට්ඨාස 523ක මධ්‍යස්ථාන 530කට ඡන්ද පෙට්ටි නිකුත් කළා
තේරීම් භාර නිලධාරි පණ්ඩුක ශ්‍රී ප්‍රභාත් අබේවර්ධන බදුල්ල – නිශාන්ත අබේගුණවර්ධන
මෙවර ජනාධිපතිවරණ ජන්ද විමසීමට අදාළ සියලු මූලික කටයුතු බදුල්ල දිස්ත්‍රික්කයේ මේ වනවිට අවසන් කර ඇති බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරි පණ්ඩුක ශ්‍රී ප්‍රභාත් අබේවර්ධන මහතා පැවසීය.
මෙම මැතිවරණය වෙනුවෙන් ජන්දය ප්‍රකාශ කිරීමට ජන්ද දායකයන් 705,772 දෙනකු සුදුසුකම් ලබා ඇත. ඉන් 42,061 දෙනකු තැපැල් ජන්ද දායකයෝ වෙති. ඒ අනුව දිස්ත්‍රික්කයේ මහියංගණය, වියලුව, පස්සර, බදුල්ල, හාලිඇළ, ඌව පරණගම, වැලිමඩ, බණ්ඩාරවෙල සහ හපුතලේ යන ජන්ද ප්‍රදේශ 9ක ජන්ද කොට්ඨාස 523කට අයත් මධ්‍යස්ථාන 530කදී මෙම ජන්දය විමසීම සිදු කරන බව ද හෙතෙම කීය. අදාළ මධ්‍යස්ථාන සඳහා අවශ්‍ය ජන්ද පෙට්ටි නිකුත් කිරීමේ කටයුතු අද (20) දින පෙරවරු 6.30ට බදුල්ල මධ්‍ය මහා විද්‍යාල පරිශ්‍රය තුළදී ආරම්භ කිරීමට නියමිතය.
මෙම මැතිවරණය වෙනුවෙන් ජන්දය ගණන් කිරීමේ මධ්‍යස්ථාන දෙකක් බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ සහ විශාඛා විද්‍යාලයේ පවත්වාගෙන යන අතර, එහිදී සාමාන්‍ය ජන්දය ගණන් කිරීමේ කටයුතු බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ ස්ථාපිත ගණන් කිරීමේ මධ්‍යස්ථාන 55කදීත්, තැපැල් ජන්දය ගණන් කිරීමේ කටයුතු විශාඛා විද්‍යාලයේ ස්ථාපිත මධ්‍යස්ථාන 29ක් තුළදීත් සිදු කෙරෙන අතර, තැපැල් ජන්දය ගණන් කිරීමේ කටයුතු හෙට (21) පස්වරු 4.15ට ආරම්භ කිරීමට නියමිත බව ද දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරිවරයා පැවසීය. ප්‍රතිඵල නිකුත් කිරීමේ කටයුතු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ හය වැනි මහලේ ස්ථාපිත ප්‍රතිඵල නිකුත් කිරීමේ මධ්‍යස්ථානයේදී සිදු කිරීමට නියමිතය. දිස්ත්‍රික්කයේ මැතිවරණ රාජකාරීන් සඳහා පොලිසිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් 10,000ක් පමණ යෙදවීමට නියමිත බවත්, තේරීම්භාර නිලධාරිවරයා තවදුරටත් සඳහන් කළේය.
ආරක්ෂාවට STF නිලධාරීහු 1,810ක් සීරුවෙන්
බදුල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වසන්ත කන්දේවත්ත සොරණාතොට සමූහ – සී. ගමගේ
2024 ජනාධිපතිවරණයේ බදුල්ල දිස්ත්‍රික්කයේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් සහ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් 1,810ක පිරිසක් ඊයේ (19) සිට යොදවා ඇතැයි බදුල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වසන්ත කන්දේවත්ත මහතා පැවසීය.
මීට අමතරව කිසියම් ප්‍රචණ්ඩ ක්‍රියාවක් ඇති වුවහොත් එය මැඬපැවැත්වීම, පාලනය කිරීම සඳහා හදිසි අවශ්‍යතාවකට යෙදවීමට යුදහමුදා නිලධාරීන් පැය 24 පුරාම සීරුවෙන් තබා ඇති බව ද හෙතෙම කීය. මේ අනුව ජනාධිපතිවරණයේ බදුල්ල දිස්ත්‍රික්කයේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක රාජකාරි සඳහා බදුල්ල කොට්ඨාසයේ පොලිස් ස්ථානවල පොලිස් නිලධාරීන් 1,200ක්, ඊට අමතරව මොනරාගල දිස්ත්‍රික්කයේ සිවිල් ආරක්ෂක භටයන් 334ක්, පිට පළාත්වල පොලිස් නිලධාරීන් 153ක් සහ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් 123ක් රාජකාරියේ යොදවා තිබෙන බව ද ඒ මහතා සඳහන් කළේය.
විශේෂයෙන් මෙම මැතිවරණ කාලසීමාව තුළදී බදුල්ල නගරයට ඇතුළු වන ප්‍රධාන මාර්ග වන මහියංගණය මාර්ගය, බණ්ඩාරවෙල මාර්ගය, පස්සර මාර්ගය යන ප්‍රධාන මාර්ගවල පොලිස් මාර්ග බාධක යොදවා නිරතුරුවම ජනතාව, රථ වාහන පරික්ෂාවට ලක්කරන බවත් ඊට අමතරව පොලිස් ජංගම රථ සේවා, සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් දිවා, රාත්‍රී ආරක්ෂක රාජකාරියේ යොදවා ඇතැයි ද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා වැඩිදුරටත් පැවසීය.