මේ නිහඬ බව බිඳින්න අප කාටවත් නොහැක්කේය. මැතිවරණ ක්‍රියාදාමයක් යනු රටකට ඇති අගනාම සම්පතය. ඒ සඳහා ලබාදී ඇති විධිවිධාන අනුව දැන් අප දේශපාලන නිහඬතාවක නියැළී සිටිය යුත්තේය.
වර්තමාන සිනමාව, රූපයෙන් මෙන්ම ශබ්දයෙන් ද පොහොසත්ය. නවීන සිනමා ශාලාවක වෙඩි තැබීමේ දර්ශනයකදී, වාඩිලාගෙන සිටින අපට, පැත්තෙන් මෙන්ම පිටුපසින් ද එම ජවනිකාවේ ශබ්ද ඇසෙන්නේය. සජීව ආකාරය මූර්තිමත් කිරීම සඳහා ඒ ආකාරයට සද්දය එන දිශාව වැදගත්ය. පෙර කාලයේ ශබ්දය විකාශය කරන ලද්දේ ‘මොනෝ’ ක්රමවේදයටය. හැත්තෑව දශකයේ නිවෙසක තිබූ ගුවන්විදුලියක් සිහියට නඟා ගන්න. එහි තිබුණේ එක් ස්පීකරයක් පමණය. සියලු ශබ්ද එක් තැනකින් නිකුත් විය. මෙය මිනිසාගේ සාමාන්‍ය ඇසීමේ ක්‍රියාදාමයට පටහැනිය. මිනිසාට කන් දෙකක් ඇත්තේ හෙයින් එක්වරම ශබ්ද දෙකක් ඇසිය හැක්කේය. වාහනයක නළාවක් නාද කළ සැණින් අප ශබ්දය අනුව එම නළා නාදය ආවේ කොයි දිශාවෙන්දැයි තීරණය කරන්නේය. එක් කනකට ශබ්දය දැනුණ ආකාරය සහ අනෙක් කනට ශබ්දය ආ ආකාරය අනුව, සද්දේ ආවේ කොයි පැත්තෙන් ද කියා, මොළයට තීරණයක් ගත හැකිය. ස්ටීරියෝ තාක්ෂණය සඳහා පදනම වන්නේ මෙයය. කන් දෙකට එක් ශබ්දයක් දෙයාකාරයකට හෙවත් දුර නිශ්චය වන ආකාරයට දැනෙන්නා සේ, ස්පීකර් දෙකක් මඟින් දෙයාකාරයට ශබ්දයක් නිකුත් කිරීම, ස්ටීරියෝෆොනික් තාක්ෂණය වේ.
එහෙව් යුගයක් සඳහා අප පැමිණියේ නිහඬ චිත්‍රපට මුලින්ම නරඹාය.
ටී. ඒ. එෆ්. නූර්බායි, විදේශීය චිත්‍රපට මෙරටට ගෙන්වා බෙදාහරින්නෙකු විය. මෙසේ ගෙන්වන ලද්දේ විදේශීය දර්ශන ඇතුළත් නිහඬ චිත්‍රපට බැවින් ප්‍රේක්ෂකාගාරය පැවතියේ අවම තත්ත්වයකය. ප්‍රේක්ෂකයා සිනමා ශාලාව වෙත අද්දා ගැනීම සඳහා ව්‍යාපාරික ප්‍රජාව විවිධාකාර වූ උපායමාර්ග අනුගමනය කළේ වුවද සෙනඟක් ඇත්තේම නැති තරමට වැඩේ අවුල් වී තිබුණි. කල්කටාවේ ධර්මරාජික විහාරයට සර්වඥ ධාතූන් වහන්සේලා පූජා කිරීමේ උත්සවයකට අනගාරික ධර්මපාලතුමා ඇතුළු සිංහල බෞද්ධ ප්රභූවරු සහභාගි වීමේ උලෙළක්, සිනමා කැමරාවක් මඟින් පටිගත කරන ලද දර්ශන පෙළක් චිත්‍රපටයක් සේ වැල්ලවත්තේ පැලස් සිනමා ශාලාවේ ප්‍රදර්ශනය වන්නේ මේ කාලයේය. වැඩි ‘ඇඩ්’ නැතුවම මෙය නැරඹීම සඳහා විශාල සිංහලයෝ ප්‍රමාණයක් පැමිණ සිටියහ. මේ ක්‍රවුඩ් එක දුටුවන, නූර්බායි වටහා ගන්නා ලද්දේ දේශීය ප්‍රේක්ෂකයා සිනමා ශාලාවලට ගෙන්වා ගැනීමට නම් ලාංකේය සිනමා පටයක් නිපදවිය යුතු බවය. ‘රාජකීය වික්‍රමය’නම් වූ පළමු සිනමා නිර්මාණය නිෂ්පාදනය වන්නේ එසේය. නිහඬ චිත්‍රපටයක් වූ එය නිහඬ ලෙසම අපෙන් සමුගන්නේ සිනමා පටය ගින්නකට හසුවීම නිසාය.
සිනමාවේ නිහඬ කාලයේ අප ඒ ආකාරයේ අත්දැකීම් ලැබුවේය. මේ පවතින්නේ මැතිවරණයේ නිහඬ කාලය බැවින් ‘නිහඬතාව ගැඹුරුයි’ යන්න අපට මතක් කර දෙන්නේය.
මේ සමයේ කිසිවෙක් වෙත දුරකතන ඇමතුමක් දිය නොහැකිය. පාරේ යන අයෙක් හමුවුවද අසන්නේ ‘තත්ත්වේ කොහොමද’ කියාය. ඒ ආකාරයට තත්ත්වය පැවසීමට අනාගත වක්තෘන් අප අතරේ නැත. එසේ වෙද්දී හැම කෙනාම කුතුහලයෙන් අසනු ලබන්නේ ‘තත්ත්වය’ය. තව දින දෙකක් ඉවසා සිටියහොත්, අරුමෝසම් නැතිවම, ප්‍රතිඵලය නිල වශයෙන් දැන ගත හැකිය. අනික ඇසුවා කියා මේ රටේ මිනිස්සු ඡන්දය ගැන තමන්ට දැනෙන දේ මිස, සමීක්ෂණ සිදු කර උත්තර දෙන්නේ ද නැත. සෑම උපකල්පනයක් සඳහාම ඒ ඒ නිරීක්ෂකයාගේ අභිප්‍රාය ද අඩංගු වන්නේය. මේ නිසා යමෙක් තත්ත්වය පවසන්නේ තම කැමැත්ත ද එහි ගැබ් කරමින්ය. මේ ආදී ලෙස දහ දෙනෙක්ගෙන් තත්ත්වය ඇසූ කල්හි ප්‍රතිඵලය ගැන අවබෝධයක් නොව සමාජයේ හැඩතලය පිළිබඳ අවබෝධයකට පැමිණිය හැකිය.
වෙනදා නම් සමීක්ෂණ සිදු කරන්නේ පූර්ව තත්ත්වය පැහැදිලි කිරීම උදෙසාය. මේ කාලයේ සමීක්ෂණ යනු ද ඒ ඒ පක්ෂයේ ප්‍රචාරණ යන්ත්රණයේ කොටසකි. වෙනම කණ්ඩායම් යොදවා මේසයක් වටා හිඳ ගත් පිරිසක් සිය අපේක්ෂකයාගේ ගොඩ වැඩි වෙන සේ දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට ප්‍රතිඵල වගුගත කරති. ඒවා ප්‍රස්තාර, වගු යොදවා වර්ණවත් කරති. සත්‍යය ලෙස පෙනෙන ආකාරයට ඒ සඳහා සංවිධානයක නමක් යොදා, ඊ මේල් සහ වට්ස් ඇප් මඟින් වටේට බෙදා හරිති. තමන්ගේ සිතැඟි පක්ෂය, සමීක්ෂණයේ ජයග්‍රහණය කර ඇත්තේ නම්, බලන කෙනා එයට රුචිය. එසේ නොමැති නම් එය අහවල් කණ්ඩායමේ නිපැයුමක් ලෙස බැහැර කරන්නේය. බලන්නා සේම නිර්මාණය කරන්නා ද එක ලෙසම සිය පැත්තට බරව තීන්දු ගන්නවා මිස, සැබෑ ලෝකය සඳහා යන්නේ නැත. මේ නිහඬ කාලයේදී ජන මනස වෙනස් කිරීමට සහ සිය පිල උදෙසා ඔය ආකාරයේ සමීක්ෂණ, සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරණය වීමේ ඉඩකඩ බහුලය. නිහඬ කාලය යනු අනෙකා නඟන ශබ්දය වැළැක්වීම පමණක් නොවේ. මේ ආකාරයේ වංගු ගසන ප්‍රචාරණ සඳහා හසු නොවී සිටීම ද එයට ඇතුළත්ය.
2016 වසරේ පැවති එක්සත් ජනපද ජනාධිපතිවරණය මේ ආකාරයේ සමීක්ෂණ වංචාවක ගිලී ගියේය. සමාජ මාධ්‍ය පමණක් නොව විධිමත් සාම්ප්‍රදායික මාධ්‍ය පවා සිය සමීක්ෂණ මඟින් ජය තහවුරු කර තිබුණේ හිලරි ක්ලින්ටන්ගේය. ඇයගේ ජයග්‍රහණය පිළිබඳ වූ සමීක්ෂණ හේතුවෙන් එක්සත් ජනපදයේ බොහෝ වැසියෝ අනුමාන කරන ලද්දේ එරටට පළමු වරට කාන්තා ජනාධිපතිනියක් ලැබෙනු ඇති බවය. ප්‍රතිඵල නිකුත් වන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති බවට පත්වීමෙනි.
මේ ආකාරයේ වංගු සඳහා ඉදිරි පැය විසි හතර භාවිත කළ හැක්කේ බැවින් ඡන්ද දායකයෝ ‘තත්ත්වේ කොහොමදැයි’ වට ගසා සොයන්නේ නැතිව සිටින්නේ නම් ‘නිහඬ කාලයේ’ අර්ථය පූර්ණ වනවා ඇත.
තව පැය හතළිස් අටක් ඇතුළත මේ රටේ ඊළඟ නායකයා කවුදැයි දැනගත හැක්කේ බැවින්, එහෙ මෙහේ යන උගුල් ඔළුවේ පටලවා ගන්නේ නැතිව තමන්ගේ ඡන්දය භාවිත කර ප්රජාතන්ත්රවාදය සඳහා ජයග්‍රහණය අත්කර දෙන ලෙස මේ තීරුව ජනයාගෙන් ඉල්ලා සිටින්නේය.