ගල්නෑව – තඹුත්තේගම ප්‍රධාන මාර්ගයේ තිස්පනේපුර හන්දියේ සිට සමන්එළිය ගම්මානය දක්වා දිවෙන තිස්පනේපුර ගම්මැද්ද මාර්ගය දැඩි ලෙස අබලන්ව ඇති බැවින් එහි ගමන් ගත් පාසල් දරුවන් ප්‍රවාහනය කළ බස් රථය නවතා දමා ඇතැයි ගම්වාසීහු පවසති. කිලෝමීටර් හයක පමණ දිගින් යුතු මාර්ගය මෙසේ වළ, ගොඩැලි මතුවී අබලන් වීම හේතුවෙන් දැඩි දුෂ්කරතා විඳීමට සිදුව ඇති බව පෙන්වා දෙන ගැමියෝ වැසි දිනවලදී එකම මඩ ගොහොරුවක් වන බවත් පායන දිනවලදී අවට පරිසරය දූවිල්ලෙන් වැසී යන බවද සඳහන් කරති. ගොවීහු සිය ගොවිපොළ නිෂ්පාදන තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානය වෙත ගෙන යනු ලබනුයේද මෙම මාර්ගය ඔස්සේ බව පවසති. තිස්පනේපුර, රන්වන්තලාගම, සමන්එළිය, පහේ කෑල්ල, ඔරුගලයාය, අධිරාණිගම ආදී ගම්මාන ගණනාවක ගැමියෝ මෙම මාර්ගය භාවිත කරන බවද ප්‍රදේශවාසීහු පවසති. මේ කෙරෙහි කඩිනම් අවධානය යොමු කොට මෙම මාර්ගය පිළිසකර කොට දෙන ලෙස ගැමියෝ වගකිව යුත්තන් වෙතින් ඉල්ලීමක් කරති.
තිස්පනේපුර ගම්වාසී බිසෝමැණිකේ ජයසේකර මහත්මිය මෙසේ අදහස් පළ කළාය. පාර කැඩෙන්ඩ කලින් ඉස්කෝලේ ළමයි ඇදපු බස් එකක් වැඩ කෙරුවා. පාර කැඩිච්ච හින්දම ඒ බස් එකත් නවත්තලා දැම්මා.
ඒකෙන් වුණේ උදේට ළමයි අරගෙන තඹුත්තේගම පාරට හරි ගල්නෑව පාරට හරි යන්ඩ වෙච්ච එක. උදේට මේ පාරේ හරියට අලි ඉල්ලනවා. ඉතිං පණ ගැහි ගැහී තමයි උදේට ළමයි අරගෙන යන්න වෙලා තියෙන්නේ. පාර හදලා දුන්නොත් ආයෙත් බස් පටන් ගනියි. පාර කැඩිච්ච එකෙන් දරුවෝ පුදුම දුකක් විඳින්නේ.
ආර්.එම්. රත්නායක මහතා මෙසේ පැවසුවේය.
මේ ගම්වල ඉන්නේ මහවැලි ජලාශ හදන්ඩ පදිංචි වෙලා හිටපු ඉඩකඩම් දීලා මෙහෙට ආපු මිනිස්සු. මේ කවුරුවත් මෙහෙම දුක් විඳින්ඩ ඕන මිනිස්සු නෙමෙයි. අපිට මොකුත් දෙන්ඩ කියලා අපි ඉල්ලන්නේ නෑ. අපේ එළවළු, පලතුරු ටික මාකට් එකට ගෙනිය ගන්ඩ මේ පාර හදලා දෙන්ඩ කියලා අපි ඉල්ලන්නේ.
අප මේ පිළිබඳව තලාව ප්‍රාදේශීය සභාවේ, තාක්ෂණ නිලධාරි මාධව මුණසිංහ මහතා වෙතින් විමසීමක් කළෙමු.
එවිට ඔහු පැවසුවේ මෙම වසරේ මාර්ග සංවර්ධන වැඩසටහන සඳහා මෙම අතුරු මාර්ගය ඇතුළත්ව නොමැති බවය. එහෙත් ගැමියන් විසින් ඉල්ලීමක් ඉදිරිපත් කළහොත් 2025 වසරේ මාර්ග සංවර්ධන වැඩසටහන සඳහා මෙම මාර්ගය ඇතුළත් කළ හැකි බවය.