මාධ්‍ය ක්ෂේත්රය සඳහා දැනුමැති, වගකීම්සහගත, නිර්මාණශීලී මාධ්‍ය පරපුරක් බිහි කිරීමේ අරමුණ ඇතිව ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම විසින් ආරම්භ කරන ලද ලේක්හවුස් මාධ්‍ය ඇකඩමිය ලේක්හවුස් ආයතනයේම වඩා පහසුකම් සපිරි නව පරිශ්රයක විවෘත කිරීමේ උත්සවය අද (19) ලේක්හවුස් ආයතනයේ සභාපති මහාචාර්ය හරේන්ද්‍ර කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ. පාඨමාලා හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මල්ටි මීඩියා පහසුකම් සහිත වායුසමීකරණය කළ ශ්‍රවණාගාරයක්, අංග සම්පූර්ණ පරිගණක විද්‍යාගාරයක් වැනි පහසුකම්වලින් ලේක්හවුස් මාධ්‍ය ඇකඩමියේ නව පරිශ්‍රය සමන්විත වන අතර ඉදිරියේදී මාධ්‍ය හා මාධ්‍ය නොවන පාඨමාලා රැසක් හඳුන්වාදීමට ද ලේක්හවුස් මාධ්‍ය ඇකඩමිය කටයුතු සංවිධාන කර ඇත.
මේ වන විට මාධ්‍ය සන්නිවේදන හා ඩිජිටල් මාධ්‍ය සන්නිවේදන යන විෂය ක්ෂේත්රවලට අදාළව ඩිප්ලෝමා පාඨමාලා ද්විත්වයක් ලේක්හවුස් මාධ්‍ය ඇකඩමියේ මෙහෙයවීමෙන් ඉතාම සාර්ථක ලෙස සිදුවන අතර මාධ්‍ය සන්නිවේදන ඩිප්ලෝමා පාඨමාලාව දමිළ මාධ්‍යයෙන් පැවැත්වීමටද අයදුම්පත් කැඳවා තිබේ. මීට අමතරව රූපවාහිනී, ගුවන්විදුලි ප්රවෘත්ති නිවේදක, වැඩසටහන් නිවේදක, හඬකැවීම් හා හඬ පාලනය, ප්‍රතිභාන්විත රංගනය, මංගල ඡායාරූපකරණය, යූටියුබ් නිර්මාණකරණය, කෙටි චිත්‍රපට නිර්මාණකරණය, වාස්තු විද්‍යා, රාජ්‍ය බදු වැනි විවිධ විෂය ක්ෂේත්රයන් හා අදාළ එක්දින වැඩමුළු ගණනාවක්ද එම ඇකඩමිය මඟින් සංවිධාන කර ඇති අතර ඉදිරි කාලයේ තවත් එවැනි ඵලදායි වැඩමුළු රැසක් පැවැත්වීමටද කටයුතු සූදානම් කර තිබීම විශේෂත්වයකි.
ලේක්හවුස් මාධ්‍ය ඇකඩමිය නව පරිශ්‍රයේ විවෘත කිරීමේ අවස්ථාවට සමගාමීව තරුණි, මිහිර, බුදුසරණ, සුබසෙත, සරසවිය යන ලේක්හවුස් වාර ප්‍රකාශනයන්හි කර්තෘ මණ්ඩල කටයුතු වඩාත් විධිමත් අයුරින් කරගෙන යෑමට පහසුකම් සලසමින් ඒ වෙනුවෙන්ම ස්ථාපිත කරන ලද වාර ප්‍රකාශන නව පරිශ්‍රය එම කර්තෘ මණ්ඩල වෙත පවරමින් ලේක්හවුස් සභාපති, අධ්යක්ෂ මණ්ඩලය, සාමාන්‍යාධිකාරී හා ආයතනයේ ඉහළ කළමනාකාරිත්වය කර්තෘ මණ්ඩල නිරීක්ෂණය කිරීම සඳහා ද සහභාගිවීමට නියමිතය.