ව්‍යාජ මුහුණු පොතක් ගිණුමක් සකසා 20 හැවිරිදි තරුණියකට අසභ්‍ය දර්ශන යොමු කරමින් ලිංගික අතවර කළ බව කියන පුද්ගලයෙකු , දුරකතන විශ්ලේෂණ වාර්තා හරහා අත්අඩංගුවට ගනු ලැබූ බව ගම්පහ කොට්ඨාස ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය සඳහන් කරයි.
මෙම පුද්ගලයා මීට වසර තුනකට පමණ පෙර දැනට 20 වෙනි වියෙහි පසුවන තරුණිය සමඟ ප්‍රේම සබඳතාවයක් පවත්වා ගෙන ගොස් ඇති අතර තරුණියගේ මව්පිය විරෝධතාවය මත හාදකම නවතා දමා ඇති බවත් මේ හේතුවෙන් තමන්ට දිගින් දිගටම නිරුවත් ඡායාරූප සහ අසභ්‍ය කෙටි පණිවිඩ එවීමෙන් සිදු කරනු ලබන කරදර දරා ගැනීමට නොහැකිව මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කොට ඇති බවත් පොලිසිය පවසයි.
රදාවාන ප්‍රදේශයේ පදිංචි මෙම තරුණිය විසින් තරුණයාගෙන් මෙලෙස සිදුවන කරදර සම්බන්ධයෙන් කිරිඳිවැල පොලිසියටද මීට පෙර පැමිණිලිකොට අනතුරුව ගම්පහ කොට්ඨාස ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයට පැමිණිලි කිරීම මත එහි ස්ථානාධිපතිනී ප්‍රධාන පොලිස් පරීක්ෂක විනීෂියා ප්‍රේමරත්න මහත්මියගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ ආරම්භ කොට දුරකතන විශ්ලේෂණ වාර්තා ලබාගනිමින් 24 හැවිරිදි පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු හේනේගම ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි අයෙකු වන බවත් මොහු රදාවාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබූ බවත් පොලිසිය සඳහන් කරයි.
දුරකතන භාවිත කරමින් තවකෙකුට හානිවන අන්දමින් කටයුතු කිරීම නීතිමය වශයෙන් වරදක් වන බැවින් 2024 අංක 9 දරණ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාවය පිළිබඳ පනතේ 21 වගන්තිය යටතේ සහ ලිංගික අතවර සිදු කිරීම යන චෝදනා මත සැකකරු පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ.