ඇටෝනි බලපත්‍රයකින් පවරන ලද මහබාගේ ප්‍රදේශයේ පිහිටි ඉඩමක් විකුණා රුපියල් එක් කෝටි විසි ලක්ෂයක් දෙන බවට පවසා එම මුදල් නොදී වංචා කළේ යැයි සැකපිට අධිකරණයට ඉදිරිපත් කළ පුද්ගලයකු නැවත මේ මස 25 වැනි දින දක්වා රිමාන්ඩ් කිරීමට මහර අතිරේක වැඩබලන මහේස්ත්‍රාත් දේශාල් පෝල් මහතා ඊයේ (18) නියම කළේය.
මේ සිද්ධිය සම්බන්ධයෙන් දුවපාර, බටගම, ජාඇල ප්‍රදේශයේ පදිංචි ඩී.ඒ.ඒ. දමිත් ඉරෝෂ් යන අය රිමාන්ඩ් කිරීමට නියම විය. සිද්ධිය සම්බන්ධයෙන් ශාන්ත ජෝශප් පාර, කණුවන, ජාඇල ප්‍රදේශයේ පදිංචි ඩබ්ලිව්. ජෝශප් සේනානි ඩයන් සෝවිස් යන අය විසින් පෑලියගොඩ විශේෂ අපරාධ විමර්ශන අංශයට කළ පැමිණිල්ල විමර්ශනය කර සැකකරු අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබිණි.
පෑලියගොඩ විශේෂ අපරාධ විමර්ශන අංශයේ සැරයන් (71453) කුමාර මහතා වැඩිදුර වාර්තාවකින් පැමිණිල්ල ඉදිරිපත් කරමින් පවසා ඇත්තේ පැමිණිලිකරුගේ ඥාතියකු ඔස්ට්‍රේලියාවේ වාසය කරන බවත්, ඔහුට අයිති මේ මහබාගේ පිහිටි ඉඩම සැකකරු විසින් ඇටෝනි බලපත්‍රයකින් ව්‍යාජ අත්සන් යොදා රුපියල් 1,20,00000කට විකුණා මුදල් වංචා කර ඇති බවත්ය.
මේ ඉඩම රුපියල් ලක්ෂ තුන් සියක් පමණ වටිනා අතර, එහිදී එම ඇටෝනි බලපත්‍රයට අනුව සැකකරු විසින් එම ඉඩම විකුණා පැමිණිලිකරුගේ නමට එම මුදල් බැර කළ යුතු බවට එම ඇටෝනි බලපත්‍රයේ කොන්දේසිවල සඳහන්ව ඇතත් එම කොන්දේසි කඩ කර ඇති අතර, ඒ අනුව මේ සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරන බව සැරයන්වරයා වැඩිදුරටත් අධිකරණය හමුවේ පැවැසීය.
ඉදිරිපත්වු කරුණු කෙරෙහි අවධානය යොමු කළ මහර අතිරේක වැඩබලන මහේස්ත්‍රාත්වරයා එම නියෝග නිකුත් කළේය.