ඩුබායි හි වාසය කරන සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකුගේ මෙරට සිටින ප්‍රධානතම ගෝලයා පෙරේදා (17) කටුනායක පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ විශේෂ නිලධාරීන් පිරිසක් විසින් මත්ද්‍රව්‍ය සොයා සිදු කළ මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන තිබේ.
මොහු ආඩිඅම්බලම බිග් සිටි නිවාස සංකීර්ණයේ වාසය කරන 30 හැවිරිදි තරුණයෙකි. මොහු සන්තකයේතිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10යි මිලි ග්‍රෑම් 200ක ප්‍රමාණයක් පොලිසිය විසින් සොයා ගෙන තිබේ.
මොහු විවිධ ප්‍රදේශවලින් සොරා ගත් යතුරුපැදි සහ ත්‍රිරෝද රථ භාවිත කරමින් මත්ද්‍රව්‍ය සිල්ලර වශයෙන් අලෙවි කරන ජාවාරම්කරුවන්ට සැපයීම සිදු කර ඇති අතර, තවත් අවස්ථාවලදී මේ වාහනවලින් ගොස් වෙඩි තැබීම් සහ පිහි ඇනුම් සිදු කර ඇති බව ද පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය කර ගෙන තිබේ.
මොහු ඉකුත් මැයි මස 05 වැනි දින හොරණ ප්‍රදේශයේ පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කිරීමට සම්බන්ධ සිද්ධියේ පැදිකරු ලෙස කටයුතු කර ඇති අතර, පසුගියදා ආඩිඅම්බලම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුට ද පිහි ඇනුමක් සිදු කර පළාගොස් තිබුණි. මීට අමතරව ගනේමුල්ල පොලිස් වසමේදී සොරා ගත් ස්කූටර් වර්ගයේ යතුරුපැදි දෙකක් සහ රුපියල් ලක්ෂ 15ක් පමණ වටිනා භාණ්ඩ ද, කඩුවක් සහ කිනිස්සක් ද මොහු පදිංචි නිවෙස වටලා සොයාගෙන තිබේ. මොහු ඊයේ (18) මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතාගේ උපදෙස් පරිදි, කටුනායක ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරී ගාමිණී රත්නායක මහතාගේ අධීක්ෂණය යටතේ, කටුනායක පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අජිත් නිශ්ශංක, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක දහම් මාරසිංහ, උප පොලිස් පරීක්ෂකවරුන් වන මොහොමඩ් නිෂ්මි, ප්‍රියදර්ශන, පොලිස් සැරයන් 37371 සුනිල්, පොලිස් කොස්තාපල්වරුන් වන 93015 කරුණානායක, 96820 සදමාල්, 100255 සෙනෙවිරත්න සහ 102289 මධුසංඛ මහත්වරු සිදු කරති.