1796දී එක්සත් ජනපදයේ ජනාධිපතිවරණය පැවැත්වීමට සති දහයකට පමණ පෙර, වොෂින්ටන් ජනාධිපතිවරයා සිය සමුගැනීමේ ලිපිය ප්‍රකාශයට පත් කළේය. 1796 සැප්තැම්බර් 19 වැනිදා හෙවත් වසර 228කට පෙර ප්‍රකාශයට පත් කළ මෙම ලිපියෙන්, අමෙරිකානු ජාතිය එතැන් සිට අනුගමනය කළ යුතු ඉලක්කය සම්බන්ධයෙන් වන පෙළගැස්ම ජෝර්ජ් වොෂින්ටන් යෝජනා කළේය.
ජනරජයේ නිදහසට එල්ල වී ඇති තර්ජන සම්බන්ධයෙන් හේ සිය වැසියෝ වෙත පළමුව කරුණු පහදා දුන්නේය. අමෙරිකානු ජනතාවට ඔහු අනතුරු ඇඟවීම් ආරම්භ කරන්නේ දේශයේ ස්වාධීනත්වය, දේශීය හා විදේශීය සාමය, ආරක්ෂාව, සමෘද්ධිය සහ නිදහස යන සියල්ල රාජ්‍යයන් අතර සමගිය මත රඳා පවතින බව අවධාරණය කරමිනි. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මඟින් නිර්මාණය කරන ලද රාජ්‍ය එකමුතුව රැක ගැනීම වෙනුවෙන් වැසියෝ පෙරමුණ ගත යුතු බව ඔහුගේ ඇගයීම විය. විදේශීය හා දේශීය සතුරන්ගේ නිරන්තර අවධානයට ලක්වන රටේ එකමුතුභාවය ආරක්ෂා කිරීම වෙනුවෙන් උපරිම පියවර ගන්නා ලෙස වොෂින්ටන් ඉල්ලා සිටින්නේ, යම් ප්‍රාන්තයක, නගරයක හෝ ප්‍රදේශයක වැසියන් ලෙස තම අනන්‍යතා මතු කර ගැනීම නොව, අමෙරිකානුවන් ලෙස ඔවුන්ගේ අනන්‍යතාව ඉහළින් තැබීම සඳහා යොමුවන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිති.
මේ වන විට ශ්‍රී ලංකාව සිටින්නේ ජනාධිපතිවරණය සඳහා දින දෙකක දුරිනි. කලාපයේ සෙසු රටවල් පත්ව ඇති තත්ත්වය සම්බන්ධයෙන් විමසිලිමත් වන අයෙක් වෙත පැහැදිලි වන්නේ, අවුලකින් තොරව අප හිස ඔසවා ඇත්තේය යන්නය. මාලදිවයින බංකොලොත්භාවය ආසන්නයට ගොස් තිබේ. චීන පිලේ සිටි එරට සිය පසමිතුරුකම් අතහැර දැන් ඉන්දියාව සමඟ සාකච්ඡා සඳහා යෑමට තීරණය කර ඇත්තේය. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව හැර කලාපයේ සෙසු රටවල් මේ ආකාරයට පත්තු වී සිටින අතරේ ශ්‍රී ලංකාව ඇත්තේ ජනාධිපතිවරණයේ මුව විටය.
ජනාධිපති ජෝර්ජ් වොෂින්ටන් සිය ජාතිය අමතා, ජනාධිපතිවරණයට පෙර ලියන ලද ලිපිය ගෙනහැර දක්වන්නේ, එවන් අනභිභවනීය ජාතියක් ගොඩනැඟීම සඳහා වූ පාදම, මේ රටේ ජනතාව වෙත මතක් කරනු රිසියෙනි. අවැසි වී ඇත්තේ රටක් ලෙස සිතීම යන්න මිස මැතිවරණයක් වෙනුවෙන් පාට පාට ලෝකයක තනි වීම නොවේ. සමහර ජාතියකින් දුමක් දා ගත් විට ඔය ආකාරයට රවුම් අතරේ එතී, වෙළී පාවිය හැකිය. සිහිනයක් පාට පාටින් සිත්තම් කළ හැකි වුවද රටක අභිප්‍රාය ඒ ආකාරයට ලඝු කළ නොහැක්කේය.
පෞද්ගලික සහ පොදු සතුට ප්‍රවර්ධනය සහ ජාතියේ දේශපාලන සමෘද්ධිය අතර අවියෝජනීය සම්බන්ධය හුවා දක්වන ජනාධිපති වොෂින්ටන්, ආගමේ සහ සදාචාරයේ වැදගත්කම පිළිබඳ අවධාරණය කරන්නේය. ආගමකින් තොරව ජාතියේ සදාචාරය පවත්වාගෙන යා හැකි බවට ඇති විශ්වාසය සම්බන්ධයෙන්, ඔහු අනතුරු අඟවන්නේය.
ජනාධිපතිවරණයක් යනු පුද්ගල ජයග්‍රහණයක් නොව දේශයේ අනාගතය සඳහා වූ දේශපාලන මැදිහත්වීමය. එතැන් සිට රට ගමන් කරන දිශානතිය සඳහා අත තබනුයේ, දේශපාලන නායකත්වය ය. රටක් ලෙස අප සිටින්නේ අවදානමක් ගෙන ක්‍රියා කළ හැකි තත්ත්වයක නොවේ. ගතවෙන සෑම මොහොතක්ම, රට වෙනුවෙන් වැදගත් භූමිකාවක් නියෝජනය කරනවා ඇත. ඒ සෑම තීන්දුවක්ම රටේ අනාගතය දරා සිටිනා කුලුනක් බවට පත්වෙනවා ඇත.
බංග්ලාදේශය, පාකිස්තානය ආදී රටවල් මේ ගෙවන්නේ සිය රටේ ඛේදනීයම අවස්ථාය. අප එවන් මොහොතක ජීවත්වූ කාලය පසු විය. එවැනි ඛේදනීය ලක්ෂ්යයකින් පහළට රට ඇදනොවැටුණේ, එකා මෙන් රටේ ජනතාව අර්බුදයට එරෙහිව සටන් වැදීම නිසාය. මේ ගෙවන කාලය වනාහි විවේකයක් නොවේ. සැනසුමෙන් උද්‍යානයක බංකුවක වාඩිලාගෙන මේ මොහොතේ රටට සිටිය නොහැකිය. ලබාගෙන ඇත්තේ යම් අස්වැසිල්ලක් පමණය. එය ජයග්‍රහණයක් බවට පත් කර ගැනීමේ වෑයම අප අඛණ්ඩව දැරිය යුත්තේය. දේශපාලන කල්ලිවාදයේ උච්ච ස්ථානය සඳහා ගියා කියා, මෙම අර්බුද සඳහා විසඳුම් ලැබෙන්නේ නැත. වෙන්දේසි ආකාරයට පොරොන්දු පත්‍ර ජනයා හමුවේ දිගහැරියා කියා, රටේ ආර්ථිකය සවිමත් වන්නේ නැත. රැවටීම නම් වූ කාරණය මත්තේ ගිය දුර, අවසානයේ රටක් තල්ලු කරන ලද්දේ ආර්ථික අගාධයකටය. දේශපාලන අස්ථාවරභාවය, රටේ රජ වන්නේ ඒවා පුරුද්දකට යෑම නිසාය. මෙවර අපගේ ඡන්දය, එහෙව් අලකලංචි සඳහා සිදු කරන තිත තැබීම් විය යුත්තේය.
උදෑසන හතට ඡන්ද පෝලිමට එක්විය යුත්තේ, සිහින කුමාරයන් රජ කරවීමට නොවේ. නැතහොත් තමන් වසඟයට පත්ව ඇති දේශපාලන ධාරාව අනෙකාට උඩින් යැවීමේ අභිප්‍රාය අනුව නොවේ. සියල්ලට ඉහළින් දේශයේ න්‍යාය පත්‍රය තැබීම සඳහාය.
අත්දැකීම් සහ පරිණතභාවය නොමැත්තේ නම්, පරිපාලනයට ද එහා ගිය දේශපාලනය හසුරුවාගත නොහැකිය. මාලදිවයින සඳහා බලපාන ලද එක් කරුණක් වූයේ වෙනත් රටවල කඳවුරු සඳහා සිය දේශය ලැගුම්පොළක් කිරීමට යෑමේ විපාකයය.
දැන් දනිපනි ගා දැඟලුව ද විපාකය විඳ මිස, නැඟිටීමට නොහැකි බව ඒ රට වටහාගෙන ඇත.
මේ ආකාරයට කාගේ හෝ ලැගුම්පොළක් වෙත ඡන්ද පොළට ගොස් කතිරය ගැසීම නොකළ යුත්තේ, රට යනු ඒ සියල්ලට ඉදිරියෙන් තැබිය යුත්තක් බව අප අදහන නිසාය. තව දිනයක් ඉතිරිව තිබේ. හදවත සහ බුද්ධිය එකට කැටි කර ගනු ලබන ඒ තීන්දුව වනාහි, තව වසර ගණනක් සඳහා මේ රටේ ඉරණම පිළිබඳව කතාව වන්නේය. එහෙයින් අද සහ හෙට දවස මැනවින් කල්පනා කර, අනිද්දා දිනයේ තීන්දුව ගන්නා මෙන් මේ තීරුව ජනයාගෙන් ඉල්ලා සිටින්නේය.