Home » නිල ඡන්ද පත්‍රිකා 97%ක් බෙදා අවසන් – මැකෝ

නිල ඡන්ද පත්‍රිකා 97%ක් බෙදා අවසන් – මැකෝ

by chanaka
September 19, 2024 11:29 am 0 comment

තැපැල් දෙපාර්තමේන්තුව නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවලින් සියයට 97 ක් පමණ බෙදාහැර අවසන්කර ඇතැයිද, එම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු අයට අද (19), හෙට (20) සහ අනිද්දා (21) සිය ප්‍රදේශයේ තැපැල් කාර්යාලයට ගොස් එය භාර ගැනීමේ හැකියාව පවතින බවත් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.

මැතිවරණ කොමිෂන් සභාවේ ඊයේ (18) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

මෙවර ජනාධිපතිවරණ ඡන්ද විමසීමේදී ඡන්දය ප්‍රකාශ කිරීමට අදාළව 2024 වසරේ ඡන්ද හිමි නාම ලේඛනයේ ඡන්දදායකයකු ලෙස ලියාපදිංචි වී ඇත්දැයි සිය ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයාගෙන් හෝ මැතිවරණ කොමිෂන් සභාවේ www.elections.gov.lk වෙබ් අඩවියෙන් පරීක්ෂා කරගැනීමට හැකි බවද ඔහු පැවසීය.

ඡන්ද මධ්‍යස්ථානයේදී ඡන්දය භාවිත කිරීම සඳහා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව තිබීම වැදගත් බවත්, යම් කාරණයකින් ඡන්ද මධ්‍යස්ථානයට එය රැගෙන යාමට නොහැකි වූයේ නම් සිය අනන්‍යතාව තහවුරු කිරීමට අදාළව මැතිවරණ කොමිෂන් සභාව විසින් නම්කර තිබෙන ලේඛන අතරින් එකක් ඉදිරිපත් කර ඡන්දය ප්‍රකාශ කළහැකි බවත් ඔහු කීවේය.

මෙහිදී පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද වලංගු හැඳුනුම්පත, වලංගු රියැදුරු බලපත්‍රය, වලංගු විදෙස් ගමන් බලපත්‍රය, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් පූජ්‍ය පක්ෂය සඳහා නිකුත් කරන හැඳුනුම්පත, විශ්‍රාමික හැඳුනුම්පත, වැඩිහිටි හැඳුනුම්පත, ආබාධිත ඡන්දදායකයන් සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද තාවකාලික හැඳුනුම්පත ආදී කිසිදු හැඳුනුම්පතක් නොමැති නම් ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයා හරහා මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරන තාවකාලික හැඳුනුම්පත ඡන්දය භාවිත කිරීමට යොදාගත හැකි බවද ඔහු කීවේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT