Home » කැස්බෑව ජාලියගොඩ විකල්ප මාර්ගයේ තනි රෝදයෙන් රේස් ගිය තරුණයන් 12ක් අද අධිකරණය හමුවට

කැස්බෑව ජාලියගොඩ විකල්ප මාර්ගයේ තනි රෝදයෙන් රේස් ගිය තරුණයන් 12ක් අද අධිකරණය හමුවට

by sachintha
September 18, 2024 1:15 am 0 comment

සමාජ මාධ්‍ය ජාලයේ ටික් ටොක් හරහා සම්බන්ධ වී මුදල් ඔට්ටුවට කැස්බෑව ජාලියගොඩ විකල්ප මාර්ගයේ යතුරුපැදි රේස් පදමින් සිටි තරුණයන් 12 දෙනකු අද 18 කැස්බෑව අධිකරණය හමුවට ඉදිරිපත්වීමට නියමිතව ඇතැයි පිළියන්දල පොලිසිය කියයි.

මෙම වැටලීමෙන් තරුණයන් 12 දෙනකු සහ යතුරුපැදි 18ක් පොලීසිය අත්අඩංගුවට ගත්තේ ඉකුත් 15වෙනිදාය.

පොලීසිය මෙම වැටලීම සිදුකරන අවස්ථාවේ තරුණයන් හය දෙනෙකු යතුරුපැදිද දමා පලා ගිය බව පොලිසිය සඳහන් කරයි. සවස් යාමේ සිට මධ්‍යම රාත්‍රිය වන තෙක් ත්‍රිරෝද රථ සහ යතුරුපැදි විශාල ප්‍රමාණයක් පැමිණ මාර්ගයේ ඒ මේ අත ශබ්ද නඟමින් තරගයට ධාවනය කරන බවට 119 පොලිස් හදිසි ඇමතුම් මධ්‍යස්ථානයට සහ පිළියන්දල පොලිසියට නිරන්තරයෙන් ලැබෙන දුරකතන ඇමතුම්‍ හේතුවෙන් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිනේෂ් අත්තරගම මහතාගේ උපදෙස් මත පොලිස් නිලධාරින් දස දෙනෙකුගෙන් යුත් පිරිසක් එම ස්ථානයට ගොස් මෙම තරුණයන් පිරිස අත්අඩංගුවට ගෙන ඇත. පොලිස් නිලධාරින් පිරිස එම ස්ථානය කරා යන අවස්ථාවේදී තරග සඳහා සහභාගි වීමට පැමිණ තිබූ ත්‍රිරෝද රථ එම ස්ථානයෙන් පිටව ගොස් තිබූ බව පොලිස් නිලධාරියෙක් පැවසීය.

එකී පිරිස යතුරුපැදි සහ ත්‍රිරෝද රථ ධාවනය කිරීමේදී ප්‍රදේශවාසීන්ගේ දෝෂදර්ශනයට ලක්වී ඇතැයි පොලිසිය කියයි.

තනි රෝදයෙන් මාර්ගයේ මීටර් 100/200 ආදී තරග ඉසව් සඳහා මුදල් ඔට්ටු ඇල්ලීම ඇතුළු රුපියල් ලක්ෂය දක්වා විවිධ මුදල් ප්‍රමාණයන් ඔට්ටු අල්ලා මෙම යතුරුපැදි ධාවනය කර තිබූ බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. පොලිස් භාරයට ගත් බොහෝ යතුරුපැදිවල කාබලේටරය හා සම්බන්ධ කර උපාංග සවි කර ධාරිතාව වැඩි කර තිබූ බවත් ඊට අමතරව විවිධ අංගෝපාංග සවි කර හැඩය වෙනස් කර තිබූ අතර සයිලන්සර්වලට ශබ්දය වැඩි කිරීම සඳහා ද අමතර කොටස් සවි කර තිබූ බව පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් තරුණයන් අතර කොළඹ අවට සහ කොළඹින් දුර බැහැර ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 16 සිට 24 දක්වා පසුවන්නන්ද සිටි බව පොලිසිය සඳහන් කරයි. අත්අඩංගුවට ගත් තරුණයන් පිරිස පොලිස් ඇප මත මුදාහැර ඇති අතර, අද (18) කැස්බෑව අධිකරණයට ඉදිරිපත් වන ලෙසට ඔවුන්ට දැනුම් දුන් බවද පොලිසිය කියයි. යතුරුපැදි දමා පලා ගිය තරුණයන් යතුරුපැදියේ ලියාපදිංචි අංකය ඔස්සේ විමර්ශන සිදු කර අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව පොලිසිය සඳහන් කරයි.

ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රසන්න බ්‍රාහ්මණ, සහකාර පොලිස් අධිකාරි එල්. වික්‍රමසිංහ, පිළියන්දල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිනේෂ් අත්තරගම මහතාගේ මෙහෙයවීමෙන් රථ වාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.එන්.ආර්. බොතේජු උප පොලිස් පරීක්ෂක අබේවංශ, පොලිස් කොස්තාපල්වරුන් වන (90334) ඉෂාර, (97335) ප්‍රසාද්, (103752) පෙරේරා, (97159) සඳුන්, (97516) දිල්ෂාන් මහත්වරු පරීක්ෂණ පවත්වති.

බණ්ඩාරගම – බිමල් ජයසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT