කාන්තාවනට භික්ෂුණි ශාසනයට දොරගුළු විවර වූ බිනර පුර පසළොස්වක පෝය ඊයේ (17) දිනට යෙදී තිබිණි. මෙදින වෙෙළඳ කුටියක බිම වැටී තිබුණු රුපියල් හත් දහසක මුදලක් අයිතිකරු සොයා ගෙන ගොස් භාර දුන් කාන්තාවක් පිළිබඳව කුරුණෑගල බඩගමුව රක්ෂිතයෙන් අසන්නට ලැබිණි.
අලුත විවාහ වූ ඇය ඉබ්බාගමුව, කුඹුක්වැව ලිපිනයේ පදිංචි හිරුණි රුවන්තිකා චන්ද්‍රතිලක නමැති 24 වැනි වියේ පසුවෙන තරුණ කාන්තාවකි. බඩගමුවේ ලංගම ප්‍රධාන (පාලන) කාර්යාලය අසල පෙට්ටි කඩයේ සේවය කරන ඇයට එදින පෙරවරුවේ කඩයට පැමිණ තේ බී ගිය අයගේ බවට හැඟෙන රුපියල් හත්දහසක මුදලක් වැටී තිබෙනු දැක ඇත.
වහාම එම මුදල අහුලා ගත් ඕ කඩයෙන් නික්ම ගිය දෙදෙනකු පසුපසින් දිව ගොස් ඔවුන්ට එම මුදල ලබාදී තිබිණි.
පුන් පොහෝදා සිදු වූ මෙම ක්‍රියාව ඇගයීමට ලක් කරමින් වයඹ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා සඳහන් කළේ, ‘මෙම අනවසර වෙෙළඳසල් අතරේ වෙෙළඳාම් කරන මුවාවෙන් යම් යම් නීති විරෝධී වෙෙළඳාම් පවා සිදුවෙනවා. පොලිසිය ඒ දෙස උකුසු ඇසින් යුතුව පසුවෙනවා. වැරදිකරුවන් නීතියට කොටු කරගෙන ද තිබෙනවා.
එවැනි වටපිටාවක මෙවැනි අවංකව සේවය කරන අයත් මේ කඩ කාමරවල ඉන්නවා කියන එක අසන්නට ලැබීම ගැන ඇත්තටම ආඩම්බරයි.’ යනුවෙනි.
පොල්පිතිගම – නන්දන කැලේගම