Home » පවුල් ආරවුලක් විසඳාගෙන පොලිසියෙන් එළියට විත්

පවුල් ආරවුලක් විසඳාගෙන පොලිසියෙන් එළියට විත්

-බිරිඳගේ ඔළුවට ජංගම දුරකතනයෙන් ගැසූ යුද හමුදා සෙබළාට ඇප

by sachintha
September 18, 2024 1:13 am 0 comment

පවුල් ආරවුලක් විසඳා ආපසු පොලිසියෙන් පිටව යන අවස්ථාවේ දී බිරියගේ හිසට දුරකතනයකින් පහර දී තුවාල කළැයි කියන යුද හමුදා සෙබළකු රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදාහරින ලෙස කෑගල්ල මහේස්ත්‍රාත් සශිකා මිතුන ආරච්චිගේ මහත්මිය ඉකුත් 15 වැනිදා නියෝග කළාය.

මෙලෙස ශරීර ඇප මත මුදාහරිනු ලැබුවේ රඹුක්කන ගබ්බල ප්‍රදේශයේ පදිංචිව සිටින යුද හමුදාවේ සේවය කරන 32 හැවිරිදි දෙදරු පියෙකි.

ඇප මත මුදා හැර ඇතැයි කියන හමුදා සෙබළා අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන යනවා යැයි පවසා බිරිය විසින් රඹුක්කන පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබ තිබිණි. පැමිණිල්ලට අනුව දෙපාර්ශ්වය ඉකුත් 15 වැනිදා රඹුක්කන පොලිසියට කැඳවා පොලිසිය මඟින් පැමිණිල්ල සමථයකට ද පත් කර තිබිණි. පැමිණිල්ල සමථයකට පත් කිරීමෙන් පසු දෙදෙනාම පොලිස් පොතේහි අත්සන් කර පොලිසියෙන් පිටව යන අවස්ථාවේ දී ‘පොලිසියට ඇවිල්ලා පැමිණිලි දැම්මේ ඇයි?’ දැයි විමසා ඇති හමුදා සෙබළා සිය අත රැඳී ජංගම දුරකතනයෙන් බිරිඳගේ හිසට පහර දී ඇත. මෙම පහර දීමෙන් කාන්තාවගේ හිසට තුවාල සිදුව ඇති අතර පොලිසිය තුවාලකාරිය රඹුක්කන රෝහලට ඇතුළත් කර සැකකාර හමුදා සෙබළා අත්අඩංගුවට ගෙන තිබිණි. අත්අඩංගුවට ගත් හමුදා සෙබළාගේ ප්‍රකාශය සටහන් කර ගත් පොලිසිය පසුව කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණ. එහිදී රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත නිදහස් කරන ලෙසත් එම සිද්ධිය ලබන 26 වැනිදා කැඳවන ලෙසත් මහේස්ත්‍රාත්වරිය නියම කළාය. රඹුක්කන පොලිසියේ පොලිස් සැරයන් නිශ්ශංක (7043) පැමිණිල්ල වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටියහ.

 

කෑගල්ල විශේෂ – චමින්ද ජයලත්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT